යුක්රේනයේ ගුවන් ප්‍රහාර පිළිබඳ ජනතාව දැනුවත් කරන නිල ජංගම දුරකථන යෙදවුම සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව යුක්රේන ගුවන් හමුදාව පවසනවා.
මෙම සයිබර් ප්‍රහාරයත් සමඟ අගනුවර වන කියෙව් වෙත විකිරණ සහ රසායනික ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බවට හදිසි අසත්‍ය නිවේදන කිහිපයක්ම අදාළ යෙදවුම හරහා නිකුත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පළමු අනතුරු ඇඟවීමේ පණිවුඩය ඊයේ රාත්‍රී 10:47 ට නිකුත් වී ඇති අතර, එහි සඳහන්ව ඇත්තේ කියෙව් නගරයට විකිරණ තර්ජනයක් පවතින බවයි.
ඉන් මිනිත්තුවකට පසුව රුසියානු බසින් නිකුත් වූ දෙවන පණිවුඩයෙන් යුක්රේනය පුරා න්‍යෂ්ටික ප්‍රහාර එල්ල වන බවට බියක් ඇති කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන් නොනැවතී, රාත්‍රී 10:49 ට තෙවන පණිවුඩය නිකුත් කරමින් කියෙව් වැසියන්ට රසායනික ප්‍රහාර තර්ජනයක් ඇති බැවින් නිවෙස්වලින් පිටතට නොපැමිණෙන ලෙසයි දන්වා ඇත්තේ.
කෙසේවෙතත්, අදාළ පණිවුඩ නිකුත් වීමෙන් සුළු වේලාවකට පසුව ඒවා අසත්‍ය බව තහවුරු කරමින් ස්වයංක්‍රීයව අදාළ තර්ජන ඉවත් කළ බවට වන පණිවුඩ ද යෙදවුම හරහා සංසරණය වී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම නිවේදනයක් නිකුත් කළ යුක්රේන ගුවන් හමුදාව සඳහන් කළේ, කිසිදු විකිරණ හෝ න්‍යෂ්ටික තර්ජනයක් නොමැති අතර, අදාළ යෙදවුමට සතුරු පාර්ශ්වයන්ගෙන් බාධා එල්ල වී ඇති බවයි.
එමෙන්ම මෙම හදිසි සයිබර් විනාශකාරී ක්‍රියාව හේතුවෙන් ල්විව් කලාපයේ ප්‍රසිද්ධ ස්ථානවල සවි කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර හරහා ද විකිරණ අනතුරු ඇඟවීමේ සයිරන් නාද වී ඇති බව යුක්රේන මධ්‍යම බුද්ධි ඒජන්සිය තහවුරු කරනවා.
අදාළ යෙදවුමේ තාක්ෂණික බිඳවැටීමක් පවතින බැවින්, ජංගම දුරකථන පණිවුඩ කෙරෙහි පමණක් විශ්වාසය නොතබා රාජ්‍ය නිල පුවත් නාලිකා සහ ප්‍රදේශයේ සයිරන් ශබ්ද කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ.
මේ අතර, අදාළ හදිසි පණිවුඩ සමඟ ලැබුණු කිසිදු සබැඳියක් මත ක්ලික් නොකරන ලෙස වින්නිට්සියා ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ද ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.




