යුක්‍රේනයේ ක්‍රිවි රිහ් නගරයේ පිහිටි ජනාකීර්ණ වෙළඳ සංකීර්ණයකට රුසියාව එල්ල කළ ද්විත්ව ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී කුඩා ළමුන් 23 දෙනෙකු ඇතුළුව තවත් පුද්ගලයින් 130 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අතර සිටින පුද්ගලයන් 29 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වනවා.

සුන්බුන් අතර තවත් පිරිසක් සිරවී සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි බලධාරීන් පවසන්නේ.

යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කිගේ උපන්ගම වන මෙම නගරයට එල්ල වූ ප්‍රහාරය අතිශය ම්ලේච්ඡ එකක් ලෙස ඔහු පෙන්වා දී තිබෙනවා.

මුල් ප්‍රහාරයෙන් පසු සහන සේවකයින් මුදාගැනීමේ කටයුතුවල නිරතව සිටියදී රුසියාව විසින් දෙවන ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර මයිකොලේව් සහ කාර්කිව් ප්‍රදේශවලට ද එල්ල වූ තවත් ප්‍රහාරවලින් ද කුඩා ළමුන් ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.