යුක්‍රේන ජනාධිපති ව්ලොදීමීර් සෙලෙන්ස්කි යුරෝපා නායකයින්ගේ කැපවීම ඇගයීමට ලක් කරමින් ඔවුන් ,සැබෑ නායකයින්, ලෙස හඳුන්වා දී තිබෙනවා.

බෙල්ජියමේ පැවැති සමුළුවකට එක්වෙමින් සෙලෙන්ස්කි මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේනය අතර සබඳතා දැඩි ලෙස පිරිහී යමින් පවතින පසුබිමකයි.

යටිතල පහසුකම් වෙත රුසියානු ප්‍රහාර නොකඩවා එල්ල වෙද්දී රුසියානු තෙල් නිපදවන ස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස ධවල මන්දිරය විසින් යුක්‍රේනයට දැඩි බලපෑමක් එල්ල කර තිබුණි.

එසේ තිබියදීත් යුරෝපා නායකයින් යුක්‍රේනය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටීම සෙලෙන්ස්කිගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

ඉදිරි මැතිවරණය හමුවේ ගෝලීය ඩීසල් මිල ගණන් ඉහළ යාම පාලනය කරගැනීමේ අරමුණින් ජනාධිපති ට්‍රම්ප් විසින් රුසියානු ඩීසල් අපනයනයට ඉඩ සලසමින් හදිසි ගිවිසුමකට එළඹ තිබුණා. මෙම පියවර හේතුවෙන් තමන් දැඩි පාවාදීමකට ලක්වූ බවටයි ජනාධිපති සෙලෙන්ස්කි චෝදනා  කළේ.

තමන් ආරම්භ කළ ඉරාන යුද්ධය නිසා තෙල් මිල ඉහළ යාමේ අර්බුදයෙන් බේරීමට ට්‍රම්ප් විසින් යුක්‍රේන-රුසියානු යුද්ධය ඊට හේතුව ලෙස දක්වමින් සිටින බව විචාරකයන් පවසනවා.

මේ අතර පූටින්ටත් වඩා සෙලෙන්ස්කි සමඟ ගනුදෙනු කිරීම අසීරු බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ ජනාධිපති ට්‍රම්ප්ල පසුව සිය ප්‍රකාශය වෙනස් කරමින් කියා සිටියේ තමන්ට යුක්‍රේන ජනාධිපතිවරයා සමඟ හොඳ සබඳතාවක් පවතින බවත් ඔහුගෙන් අපේක්ෂා කරන්නේ යුද්ධය අවසන් කිරීම පමණක් බවයි.