රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුධ ගැටුම් නැවතත් උත්සන්න වී තිබෙනවා.

දෙපාර්ශ්වයම එකිනෙකාගේ භූමීන් ඉලක්ක කරගනිමින් ඊයේ රාත්‍රියේත් දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

​රුසියාව එල්ල කළ නවතම ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ අවම වශයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

යුක්‍රේන අගනුවර වන කියෙව් නුවර ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයකට රුසියානු මිසයිල සහ ඩ්‍රෝන පතිත වීමෙන් විශාල ගින්නක් හටගෙන ඇති අතර, ගිනි නිවන හමුදාව මේ වන විටත් ගින්න පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වන බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ.

කෙසේ වෙතත් රුසියානු මිසයිල 3ක් සහ ඩ්‍රෝන යානා 100කට ආසන්න ප්‍රමාණයක් බිම හෙළීමට සමත් වූ බව යුක්‍රේන ආරක්ෂක අංශ පවසනවා.

​කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ කියා සිටියේ ඊයේ රාත්‍රියේ සිට අවස්ථා හතරකදී නගරය පුරා ගුවන් ප්‍රහාර සයිරන් නාද වූ බවයි.

යුක්රේනයේ දකුණු දිග සපොරිෂියා (Zaporizhzhia) ප්‍රදේශයේ නිවසකටද රුසියානු ගුවන් බෝම්බයක් පතිත වී තිබෙනවා.

එයින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

​මේ අතර, යුක්‍රේනය විසින්ද රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කරමින් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පැවසුවේ ඩ්‍රෝන යානා 600ක් පමණ සිය නගරය දෙසට එල්ල වූ බවයි.

එම ප්‍රහාරවලින් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

​මෙම ප්‍රහාරයකින් මොස්කව් නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි, රුසියාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳ ආයතනයක් වන 'වයිල්ඩ්බෙරීස්' (Wildberries) සමාගමට අයත් ප්‍රධාන ගබඩා පරිශ්‍රයක් ද විනාශ වී ඇති අතර එහි විශාල ගින්නක් හටගෙන තිබෙන බවයි BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ.

රුසියානු හමුදාවන්ට අවශ්‍ය සන්නද්ධ උපකරණ සහ හමුදා සැපයුම් හුවමාරු වන ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය භාවිත කරන බැවින්, රුසියානු හමුදා සැපයුම් අඩපණ කිරීමේ අරමුණින් ඊට ප්‍රහාරය එල්ල කළ බවයි යුක්‍රේනය කියා සිටියා.

​මෙම යුධමය උණුසුම අතරවාරයේ, රුමේනියානු ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන යානයක් නේටෝ (NATO) සංවිධානයට අයත් ස්පාඤ්ඤ එෆ්-18 (F-18) ප්‍රහාරක යානයක් විසින් බිම හෙළා තිබෙනවා.

මෝල්ඩෝවා දේශසීමාව දෙසින් රුමේනියානු ගුවන් සීමාවට ඇතුළු වූ මෙම ඩ්‍රෝන යානයේ කොටස් යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි ජනශූන්‍ය ප්‍රදේශයකට පතිත වී ඇති බවයි රුමේනියානු ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් තහවුරු කළේ.