චීන ජනාධිපති ෂී ජින්පින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම සාකච්ඡාව මගින් ”විශාල ප්‍රතිලාභයක්” අපේක්ෂා කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2022 වසරේදී යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ බටහිර නායකයින් විසින් ජාත්‍යන්තරයෙන් කොන් කරනු ලැබූ පුටින්, වසර 4කට පසු ලෝකයේ ප්‍රධානතම බලවතුන් දෙදෙනා සමඟ එකම මේසයක අසුන් ගැනීම ක්‍රෙම්ලිනයට දැනටමත් ලැබුණු විශාල ”රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක්” ලෙස රුසියානු පුවත්පත් පෙන්වා දෙනවා.

විශේෂත්වය වන්නේ යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් කිසිදු සටන් විරාමයකට හෝ සම්මුතියකට එකඟ නොවී ඔහු මෙම අවස්ථාව හිමිකර ගැනීමයි.

අනෙක් පසින්, යුද ගැටුම්වලට මැදිවී ඒවා අවසන් කර ගැනීමට වෙහෙසෙන රුසියානු සහ අමෙරිකානු නායකයින් දෙපළ තම රටට කැඳවා පිළිගැනීම චීන ජනාධිපති ෂී ජින්පින් හට සිය ගෝලීය බලය සහ කීර්තිය ලොවට ප්‍රදර්ශනය කිරීමට ලැබුණු පෙර නොවූ විරූ අවස්ථාවක් බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

මෙම ත්‍රෛපාර්ශ්වික හමුව රුසියානු ජනාධිපතිවරයාගේ යෝජනාවක් වුවද, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊට ඉතා උද්යෝගයෙන් එක්ව සිටිනවා.

සීතල යුද සමයේ මානසිකත්වයකින් යුතුව ලෝක බලවතුන් එකතු වී ගෝලීය තීන්දු තීරණ ගත යුතුය යන ස්ථාවරයේ සිටින ට්‍රම්ප්, මෙහිදී න්‍යෂ්ටික අවිහරණය පිළිබඳව සාකච්ඡා කිරීමට වැඩි උනන්දුවක් දක්වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, වර්තමානයේ ගෝලීය ආරක්ෂාවට සහ ආර්ථිකයට තීරණාත්මක බලපෑමක් එල්ල කරන කෘත්‍රිම බුද්ධිය වැනි නවීන අභියෝග පිළිබඳව මෙම හමුවේදී හෝ චීන - අමෙරිකානු ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ප්‍රමාණවත් අවධානයක් යොමු නොවනු ඇති බව විචාරකයින්ගේ මතයයි.

එමෙන්ම සාකච්ඡා කිරීමට කරුණු රාශියක් පැවතියද කාලය සීමිත බැවින්, මෙහිදී සුවිශේෂී ප්‍රායෝගික ප්‍රතිඵලයක් අපේක්ෂා කළ නොහැකි බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.