වෙනිසියුලාවේ කරාකස් අගනුවර එක පිට එක ඇතිවූ ප්‍රබල භූකම්පන දෙක හේතුවෙන් පුද්ගලයන් තිස් දෙදෙනෙකු මියගොස් ඇතැයි මේ වනවිට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් පැවසුවේ තුවාල ලැබූ සංඛ්‍යාව 700කට වැඩි බවයි.

කෙසේවෙතත් මියගිය සංඛ්‍යාව 10,000 ද ඉක්මවා යා හැකි බවට ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මීට පෙර ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා.

භූ කම්පන දෙකෙන් පළමු භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක් ලෙසත් දෙවන භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් ලෙසත් සදහන්ව ඇති බවයි බීබීසී ප්‍රවෘත්ති සේවය පවසන්නේ.

මෙම ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සහන සේවා කටයුතු මෙහෙයවීම සඳහා විශේෂ හමුදා ජෙනරාල්වරයෙකු ද පත්කළ බවයි වැඩබලන ජනාධිපතිවරිය කියාසිටියේ.

ඇතිවූ භූකම්පන සමඟ කරාකස් අගනුවර ගොඩනැගිලි රැසක් කඩා වැටී තිබෙනවා.

වෙනිසියුලාවේ ජාතික නිවාඩු දිනයක් වූ බැවින් භූමිකම්පාව සිදුවන අවස්ථාවේදී බොහෝ පිරිස් රැදී සිට ඇත්තේ ඔවුන්ගේ නිවෙස්වලයි.

ඇති වූ සෙලවීමත් සමග බියටපත් වූ පිරිස් කලබලයෙන් මහා මාර්ගවලට දුව ආ බවයි බවයි එරට සිටින බීබීසී වාර්තාකරුවන් කියාසිටියේ.

මුළු වෙනිසියුලාවටම මෙන්ම අසල්වැසි කොලොම්බියාවේ බොගෝටා නුවරට ද එහි බලපෑම දැනී ඇති බව බීබීසී ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් වාර්තා කළා.