ප්‍රභල භූමිකම්පා දෙකකින් දැඩි බලපෑමකට ලක්ව ඇති වෙනිසියුලාව වෙත මානුෂීය ආධාර සැපයීම සඳහා ඉන්දියාව විසින් Operation Amistad නමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ යටතේ, සහන ද්‍රව්‍ය සහ 41 දෙනෙකුගෙන් යුත් මුදාගැනීමේ කණ්ඩායමක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 Globemaster වර්ගයේ ගුවන් යානා දෙකක් වෙනිසියුලාව බලා පිටත්ව ගොස් ඇත.

"මේ දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාව වෙනිසියුලා රජය සහ එරට ජනතාව සමඟ කරට කර සිටගන්නවා," යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

විශාල ජීවිත හානි, තුවාලවීම් සහ පුළුල් විනාශයක් සිදුකළ මෙම විනාශකාරී භූමිකම්පාවෙන් පීඩාවට පත් වෙනිසියුලා ජනතාව සමඟ ඇති සහයෝගීතාවය ප්‍රදර්ශනය කරමින්, ඉන්දියාව මෙම මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම දියත් කර තිබේ.

මේ පිළිබඳව එක්ස් X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මෙලෙස පැවසුවේය.

"'ඔපරේෂන් අමිස්ටාඩ්' මෙහෙයුම මේ වන විට ක්‍රියාත්මකයි! භූමිකම්පාවෙන් පසු සිදුකෙරෙන සහන කටයුතු සඳහා හදිසි ආධාර රැගත් ඉන්දීය ගුවන් හමුදාවේ සී-17 යානා දෙකක් අද වෙනිසියුලාව බලා පිටත්ව ගියා. මෙම ආධාර තොගයට ඉන්දීය යුධ හමුදාවේ ක්ෂේත්‍ර රෝහල් ඒකකයක් සහ ටොන් 35කට අධික සහන ද්‍රව්‍ය, ඖෂධ මෙන්ම BHISHM cubes ජංගම වෛද්‍ය ඒකක දෙකක් ඇතුළු වෛද්‍ය උපකරණ ද ඇතුළත් වනවා. මෙම දුෂ්කර අවස්ථාවේදී වෙනිසියුලා රජයට සහ ජනතාවට සහය වීමට ඉන්දියාව කැපවී සිටිනවා."