එළඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි චීනයට ඇතුළුවීම සහ පිටවීම සම්බන්ධයෙන් වන දේශසීමා පාලන නීති දැඩි කිරීමට එරට රජය පියවර ගෙන ඇත. නව සංශෝධනවලට අනුව, සංචාරකයින්ගේ විද්‍යුත් දත්ත මෙන්ම ඔවුන්ගේ සංචාරක අරමුණු පරික්ෂා කිරීම සඳහා ආගමන විගමන සහ වීසා බලධාරීන්ට වැඩි බලතල හිමිවනු ඇත.

මෙම නව රෙගුලාසිවලට අනුව චීනයට ඇතුළුවීම, පිටවීම, රැඳී සිටීම හෝ පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමේදී සංචාරකයාගේ නියමිත සංචාරක අරමුණ ඉතා නිවැරදිව සඳහන් කළ යුතුය. කරුණු තහවුරු කරගැනීමේදී අදාළ ලේඛන, සාක්ෂි මෙන්ම විද්‍යුත් දත්ත (Electronic Data) පරීක්ෂා කිරීමට බලධාරීන්ට අයිතිය පවතී.

වීසා ලබාගැනීමේදී හෝ රට තුළට ඇතුළුවීමේදී අසත්‍ය ලේඛන හෝ ප්‍රකාශයන් ඉදිරිපත් කරන විදේශීය සංචාරකයින්ට වසර එකක සිට වසර පහක් දක්වා කාලයකට චීනයට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගැනේ. එමෙන්ම, සත්‍ය නොවන තොරතුරු ඇතුළත් ආරාධනා පත්‍ර හෝ වෙනත් ආධාරක ලේඛන සපයන පුද්ගලයින්ට සහ ආයතනවලටද දඩ පැනවීමට නීතියෙන් ඉඩ සැලසේ.

ඒ අනුව, අසත්‍ය ආරාධනා පත්‍ර හෝ අයදුම්පත් ඉදිරිපත් කරන පුද්ගලයින්ට යුවාන් 10,000 කට (ඇමරිකානු ඩොලර් 1,483) දක්වාත්, ව්‍යාපාරික ආයතන සඳහා යුවාන් 50,000 කට දක්වාත් දඩ නියම කළ හැකිය. මීට අමතරව, වීසා සහ ආගමන-විගමන පහසුකම් සපයන මධ්‍යස්ථ ආයතන සඳහාද නව ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

කෙසේ වෙතත්, මෙම නව නීති යටතේ සංචාරකයින්ගේ ජංගම දුරකථන අහඹු ලෙස පරීක්ෂා කිරීමට බලධාරීන්ට බලතල හිමි නොවන බව පැහැදිලි කර තිබේ.

විද්‍යුත් දත්ත ඉල්ලා සිටිනුයේ පුද්ගල අනන්‍යතාවය හෝ සංචාරක අරමුණ තහවුරු කරගැනීමට පමණි. එමෙන්ම, චීනය දැනට රටවල් 50 ක් සඳහා ලබාදී ඇති දින 30 ක නොමිලේ වීසා පහසුකම කිසිදු වෙනසකින් තොරව ඉදිරියටත් ක්‍රියාත්මක වේ.