අමෙරිකාවේ පැවති නිව්යෝර්ක් මැරතන් තරගයට සහභාගි වූ තරුණියක් අවසන් රේඛාව පෙනි පෙනී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ඇද වැටී මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 24 වන වියේ පසු වූ රේචල් අපා නමැත්තියක්.

ඇය වෘත්තියෙන් නිෂ්පාදන කළමනාකාරවරියක වුණා.

රේචල් අපා මෙම මැරතන් ධාවන තරඟයට එක්ව තිබුණේ මියගිය ඇගේ සීයා වෙනුවෙන් පින් පැමිණවීම සදහා අරමුදල් රැස් කිරීමේ අදහසින්.

ඒ පිළිබඳ අදහස් දක්වමින් තරඟයට පෙර ඇය ප්‍රකාශ කර තිබුණේ තම ජීවිතයේ පූර්වාදර්ශී චරිතය තම සීයා බවයි.

ක්‍රියාශීලීව සිටීමට සහ අභියෝග වැලඳ ගැනීමට සියා පාඩම් කියා දුන් බවද ඇය නිතර ප්‍රකාශ කළා.

සියාගේ මරණය ඇයට ඉමහත් කම්පනයක් ගෙන දී ඇති අතර ඒ අනුවයි සීයාට පින් පැමිණවීම උදෙසා යම් ක්‍රියාකාරකම් සංවිධාන කිරීමට ඇය පෙළඹී සිටියේ.

රේචල් අපා බක්නෙල් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ උපාධිධාරිනියක වනවා.

ඇය එම විශ්ව විද්‍යාලයේ දීප්තිමත් හොකී ක්‍රීඩිකාවක ද වූ බවයි ඇගේ මිතුරන් පවසන්නේ.

ඇය ඉතා නීරෝගි සහ හැඩ සිරුරක්ද ඇති තැනැත්තියක වූනා.

ඒ අනුව ඇගේ හදිසි මරණය පවුලට සහ ක්‍රීඩා ලෝකයට ඉමහත් ශෝකී සහ අදහා ගත නොහැකි එකක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

නිව්යෝර්ක් මැරතන් ධාවන තරගය අවසන් වීමට නියමිතව තිබුණේ මැන්හැටන් උද්‍යානය අසලින්. ඊට ඉතා ආසන්න ස්ථානයකදී ධාවනයේ යෙදෙමින් සිටි රේචල් පා හදිසියේම සිහිසුන්ව බිම ඇදවැටී තිබෙනවා.

තරගය නරඹමින් සිටි රෝහල් සමාජ සේවිකාවක් වහාම ඇගේ ආධාරයට පැමිණ ඇති අතර ඒ වන විටත් රේචල් ගේ නාඩි නිසි ලෙස වැටී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව මාර්ගය අසල තරගය නරඹමින් සිටි වෛද්‍යවරුන් දෙදෙනෙකු ද වහාම සහායට පැමිණ ඇති අතර ඔවුන් ගිලන් රථයක් පැමිණෙන තෙක් රේචල්ට ප්‍රථමාධාර ලබාදුන් බවයි සිද්ධිය දුටු අය කියා සිටියේ.

ටික වේලාවකදී, මැරතන් තරගයට එක්ව සිටි වෛද්‍ය කණ්ඩායම ගිලන් රථයෙන් පැමිණ රේචල්ව, මවුන්ට් සීනායි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

එහෙත් පැය හයක පමණ සටනකින් පසු ඇය මියගිය බවයි වෛද්‍යවරුන් තහවුරු කළේ.