යේමන දේශසීමාවට ආසන්නව පිහිටි සෞදි අරාබියේ ‘ජිසාන්‘ වරාය නගරය සඳහා එරට බලධාරීන් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

සෞදි සිවිල් ආරක්ෂක අංශය විසින් මෙම ”විය හැකි අනතුරුදායක තත්ත්වය” පිළිබඳ නිවේදනය නිකුත් කරමින් පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ, නිවෙස් තුළම රැඳී සිටින ලෙස හෝ ආසන්නතම ආරක්ෂිත ගොඩනැගිල්ලක් වෙත යොමු වන ලෙසයි.

කෙසේ වෙතත්, එම හදිසි අනතුරු ඇඟවීම නිකුත් කර සුළු වේලාවකට පසුව ජිසාන් නගරයේ පැවති අවදානම් තත්ත්වය පහව ගොස් ඇති බව සෞදි බලධාරීන් නිවේදනය කර තිබෙනවා.

අවදානම පහව ගියද, ආරක්ෂක උපදෙස් තවදුරටත් අනුගමනය කරන ලෙසත්, ජනතාව එක්රැස්වීම්වලින් වළකින ලෙසත් සෞදි සිවිල් ආරක්ෂක අංශය පුරවැසියන්ට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර යේමනයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි අල්-ෂමයිටේන් දිස්ත්‍රික්කයට ගුවන් ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව හූති හිතවාදී මාධ්‍ය වාර්තා කර ඇති බව අල් ජසීරා අරාබි සේවය පවසනවා.

ටායිස් නගරයට දකුණින් පිහිටි මෙම ප්‍රදේශයට ප්‍රහාර එල්ල වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර, හූති සන්නද්ධ කණ්ඩායම ”ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස නම් කරන ලෙස යේමන විදේශ අමාත්‍ය අෆ්රා අල්-සූබා ඉතාලියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉතාලි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි හමුවීමෙන් අනතුරුව ‘x‘ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය සඳුදා යේමන රජය විසින් හූති සන්නද්ධ කණ්ඩායම ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ගත් නීතිමය පියවර පිළිබඳව තමන් ඉතාලි විදේශ අමාත්‍යවරයා දැනුවත් කළ බවත්, ඉතාලිය සහ සෙසු යුරෝපා හවුල්කරුවන් ද හූති කැරලිකරුවන් ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කර ඔවුන්ගේ අරමුදල් මූලාශ්‍ර අවහිර කිරීමට පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇය එහිදී පවසා තිබෙනවා.

එමෙන්ම, යේමන රජයට ඉතාලිය ලබා දෙන අඛණ්ඩ සහයෝගය සහ හූති කැරලිකරුවන්ගේ ත්‍රස්ත ප්‍රහාර හෙළා දැකීම සම්බන්ධයෙන් තමන් ස්තූතිවන්ත වන බව ද යේමන විදේශ අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.