ඇමරිකාවේ වොෂින්ටන්හි රොනල්ඩ් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපොළේදී ඇමරිකන් එයාර්ලයින්ස් සමාගමට අයත් ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී තිබෙනවා.
ගුවන් ගත කිරීම සඳහා ධාවන පථය ඔස්සේ ධාවනය වෙමින් තිබියදී මෙම ගැටීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බෝයිං 737-800 වර්ගයේ ගුවන් යානා දෙකක පියාපත් කෙළවර මෙලෙස එකිනෙක ස්පර්ශ වී ඇති අතර, සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.
ගැටීමෙන් පසු යානා දෙකම නැවත ගේට්ටුව වෙත රැගෙන ගොස් මගීන් ඉවත් කර ඇති අතර, පරීක්ෂා කිරීම් සඳහා යානා සේවයෙන් ඉවත් කිරීමටයි ගුවන් සමාගම පියවර ගෙන ඇත්තේ.
මෙම අනතුර සම්බන්ධයෙන් ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර 2025 වසරේ ජනවාරි මාසයේදී මෙම ගුවන්තොටුපොළ ආසන්නයේදී මගී ගුවන් යානයක් සහ හමුදා හෙලිකොප්ටරයක් ගැටීමෙන් පුද්ගලයින් 67 දෙනෙකු මියගිය අනතුර ද සිදුවූයේ මෙම ස්ථානයේදීම වීම විශේෂත්වයක්.




