පොදු සේවාවන් කඩා වැටීම සහ ඉහළ යන ජීවන වියදමට එරෙහිව හටගත් විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගැනීමත් සමඟ ඉතාලියේ මූල්‍ය අගනුවර වන මිලාන් නගරයේ ආරක්ෂාව සඳහා හමුදා සෙබළුන් 500 දෙනෙකු යෙදවීමට ඉතාලි රජය තීරණය කර තිබෙනවා.

ඉතාලි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මතෙඕ සල්විනි සඳහන් කළේ, සති අන්තයේ සිදු වූ දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙම පියවර ගැනීමට තීරණය කළ බවයි.

මිලාන් නගර මධ්‍යයේ පිහිටි ඩෙකැත්ලොන් සහ වොඩෆෝන් ඇතුළු සුප්‍රකට වෙළෙඳසැල් රැසක් විරෝධතාකරුවන් විසින් කොල්ලකා හානි සිදුකර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් බාලවයස්කරුවන්, තරුණයින් ඇතුළු 271 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මීට අමතරව බොලොඥ්ඥා , බ්‍රෙෂියා සහ ටියුරින් යන නගරවලින් ද විරෝධතාකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා දැඩි ලෙස හෙළා දකින ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි, තරුණ කල්ලීන් මැඩපැවැත්වීම සහ බාලවයස්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම සඳහා නව ආරක්ෂක පියවර හඳුන්වාදීමට සූදානම් වන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

මේ අතර සති අන්තයේ ප්‍රංශය පුරා හටගත් ප්‍රචණ්ඩකාරී විරෝධතා, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම් හමුවේ අගනුවර වන පැරිස් ඇතුළු ප්‍රධාන නගර රැසකට රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට ප්‍රංශ බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පැරිස් නුවර ‘ප්ලේස් ඩෙ ලා රෙපුබ්ලික්‘ ප්‍රදේශයට සහ ‘ලෙ හෝල්ස්‘ වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශවලට රාත්‍රී 11.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

අවසර නොලත් සියලු රැස්වීම් තහනම් කිරීමට ද ප්‍රංශ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව මාර්සේයි, බෝඩෝ, නීස්, ලියොන් සහ ලිල් යන නගරවල ද තරුණයින්ගේ ගමනාගමනය සහ ජනතාව රැස්වීම සීමා කරමින් ඇඳිරි නීති පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්ධන මිල ඉහළයාම, ජීවන වියදම සහ පාසල් ඇතුළු මහජන සේවාවන් කඩා වැටීමට එරෙහිව ආරම්භ වූ මෙම විරෝධතාවලට පන් ලක්‍ෂ 50,000කට වැඩි පිරිසක් එක්ව සිටිනවා.

මේ වන විට පුද්ගලයින් 2,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රංශ ආරක්‍ෂක අංශ පවසන්නේ.

ගැටුම්වලදී පොලිස් නිලධාරීන් 1,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, පොලිස් ප්‍රහාර හමුවේ එක් විරෝධතාකරුවෙකුගේ අතකට ද දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර දේශපාලනඥයින්ට එරෙහිව එල්ල වන ප්‍රචණ්ඩකාරී ප්‍රහාර ගෝලීය වශයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, ඔස්ටේ්‍රලියාව ද භීතියට පත් කරමින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් අනතුරකට ලක්ව තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ වැන්ගරැටා නගරයේ පිහිටි සිය කාර්යාලය ඉදිරිපිටදී, ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හෙලන් හේන්ස් අනතුරට ලක්ව ඇත්තේ මෝටර් රථයක ගැටීමෙන්.

එහිදී ඇය බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිද්ධිය වූ ස්ථානයේදීම 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ළඟ තිබී පිහියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙය සැලසුම් සහගතව සිදුකළ ප්‍රහාරයක් ද යන්න පිළිබඳව පොලිසිය තවමත් නිල වශයෙන් තහවුරු කර නැහැ.

එහෙත් ඔස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි අල්බනීසි පෙන්වා දෙන්නේ මෙය හදිසි අනතුරක් නොවන බවත්, හිතාමතාම එල්ල කරන ලද ප්‍රහාරයක් බව පෙනී යන බවයි.