පසුගිය වසරේ ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර කලාපයේදී සංචාරකයින් ඉලක්ක කර ගනිමින් එල්ල වූ සහ පසුව ඉන්දු - පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික ගැටුමකට මුලපිරූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, පාකිස්ථානය කේන්ද්‍ර කරගත් 'ලෂ්කාර්-ඊ-තායිබා' (LeT) ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමේ නිර්මාතෘ හෆීස් සයීඩ්ට එරෙහිව ඉන්දීය තන්ත්‍රය විසින් නිල වශයෙන් අධිචෝදනා ගොනු කර තිබේ.

ඉන්දියාවේ ප්‍රධානතම ත්‍රස්ත විරෝධී ඒජන්සිය වන ජාතික විමර්ශන ඒජන්සිය විසින් ඉකුත් සඳුදා මෙම පියවර ගෙන ඇත.

පුද්ගලයන් 26 දෙනෙකුට ජීවිත අහිමි කළ මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ පාකිස්ථාන රජයේ සහාය ලත් එරට වැසියන් පිරිසක් විසින් බව නව දිල්ලිය චෝදනා කළද, පාකිස්ථානය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටියේය.

පසුගිය වසරේ ජූලි මාසයේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් මෙම ප්‍රහාරයට සම්බන්ධ බව කියන පාකිස්ථාන ජාතික සටන්කාමීන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඉන් අනතුරුව, දෙසැම්බර් මාසයේදී ජාතික විමර්ශන ඒජන්සිය විසින් ලෂ්කාර්-ඊ-තායිබා සංවිධානයට, එහි අනුශාඛාවක් වන 'දි රෙසිස්ටන්ස් ෆ්‍රන්ට්' (TRF) කණ්ඩායමට සහ තවත් පුද්ගලයන් හය දෙනෙකුට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කළේය. මෙම ප්‍රහාරයේ වගකීම මුලින් 'දි රෙසිස්ටන්ස් ෆ්‍රන්ට්' කණ්ඩායම විසින් භාර ගත්තද, දින කිහිපයකට පසු ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ.

කෙසේ වෙතත්, හෆීස් සයීඩ්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ ඔහුගේ පෞද්ගලික වගකීම මෙන්ම මෙම සටන්කාමී සංවිධාන ද්විත්වයේම ප්‍රධානියා ලෙස ක්‍රියා කිරීම සැලකිල්ලට ගනිමින් බව ජාතික විමර්ශන ඒජන්සිය ප්‍රකාශ කළේය. ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රයට "පාකිස්ථානයේ කුමන්ත්‍රණය පිළිබඳ විස්තර", සයීඩ්ගේ සෘජු දායකත්වය මෙන්ම විද්‍යාත්මක සහ භූමි මට්ටමේ විමර්ශන මගින් සොයාගත් සාක්ෂි ඇතුළත් වන බවද එම ආයතනය වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම පාකිස්ථානයේ විදේශ හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ විසින් මෙතෙක් ප්‍රතික්ෂේප කර ඇත.

1990 දශකයේ මුල් භාගයේදී ලෂ්කාර්-ඊ-තායිබා සංවිධානය පිහිටුවූ හෆීස් සයීඩ්, එතැන් පටන් එම කණ්ඩායමට සහ ඉන් බිහිවූ අනෙකුත් අනුශාඛා සංවිධානවලට නායකත්වය ලබා දුන්නේය.

දින තුනක් පුරා පුද්ගලයන් 166 දෙනෙකුට ජීවිත අහිමි කළ 2008 වසරේ සුප්‍රකට මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු ලෙසද සැලකෙන්නේ මොහුය. ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් 2020 වසරේ සිට හෆීස් සයීඩ් පාකිස්ථාන බන්ධනාගාරයක සිරදඬුවම් විඳිමින් සිටියි.