කොලොම්බියාවේ චොකෝ ප්‍රදේශය මූලික කරගනිමින් සිදුවූ රික්ටර් මාපකාංක 7.4 ක ප්‍රබල භූමිකම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට බලධාරීන් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ මේ වන විට තුවාල ලැබූ සංඛ්‍යාවද 480 ඉක්මවා ඇති බවයි.

කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර තවත් පිරිසක් සිරවී සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවන්නේ.

සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

පවතින දැඩි හානිය හමුවේ කොලොම්බියානු රජය විසින් සමස්ත රට පුරා හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම භූමිකම්පනයේ වැඩිම බලපෑම කොලොම්බියාවේ කෝපි වගාකරන කලාපයේ පිහිටි පෙරෙයිරා නගරයට සහ වැලේ ඩෙල් කවුකා ප්‍රදේශයට එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පෙරෙයිරා නගරයේ ප්‍රධාන චතුරස්‍රයේ පිහිටි බහුතල ගොඩනැගිල්ලක් ජනතාව බලා සිටියදීම සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා.

කෙසේ වෙතත්, භූමිකම්පනයේ ප්‍රභවය වූ ‘සාන් හොසේ ඩෙල් පල්මාර්‘ ගම්මානයේ මාර්ග පද්ධතියට දැඩි හානි සිදු වී තිබුණ ද, එම ගම්මානයෙන් කිසිදු මරණයක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නොමැති බවයි එරට නගරාධිපති ලියොන් ෆෙබියෝ මරින් මොන්කාඩා පවසන්නේ.