ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් කලාපයේ ජනාකීර්ණ ප්‍රදේශයකට පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් නවදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමෙරිකානු ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆී තහවුරු කරනවා.

‘ලියර්ජෙට් 60‘ (ඛැ්රවැඑ 60) වර්ගයේ අදාළ ජෙට් යානය ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නුවර සිට බහමාස් රාජ්‍යය බලා පියාසර කරමින් තිබියදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් මා-අ-ලාගෝ නිකේතනයේ සිට සැතපුම් 9 ක් පමණ දුරින් පිහිටි ක්‍රෙස්ට්හැවන් නමැති ප්‍රදේශයේ මහා මාර්ගයකට යානය කඩා වැටී තිබෙනවා.

යානය සිරස් අතට ඉතා වේගයෙන් පොළොව දෙසට ඇදී ඇවිත් දැවැන්ත ගිනි ජාලාවක් සහිතව පිපිරී යන අයුරු අසල ධාවනය වූ රථයක කැමරාවක සටහන්ව තිබූ අතර, එය මිසයිලයක් කඩා වැටෙනවා වැනි භයානක සිදුවීමක් බවයි සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් සඳහන් කළේ.

අනතුරින් මහා මාර්ගයේ ජල නල ඇතුළු ප්‍රදේශයේ යටිතල පහසුකම්වලට ද දැඩි හානි සිදුව තිබෙනවා. කෙසේවෙතත් අනතුර සිදු වූ අවස්ථාවේ ගොඩබිම සිටි කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නොමැති බවයි බලධාරීන් පවසන්නේ.

සිද්ධියත් සමඟ ආරක්ෂිත පියවරක් ලෙස අසල පිහිටි නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් 600 කට ආසන්න පිරිසක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයේ තද වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක් පැවැති බව වාර්තා වන අතර, ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පාලන අධිකාරිය සහ ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය එක්ව අනතුරට හේතුව සෙවීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.