ජපානයේ ටෝකියෝ නුවරට ආසන්න ෆුජිසාවා වෙරළබඩ නගරයේ ඉදිකිරීමට යෝජිත පළමු මුස්ලිම් පල්ලිය, මේ වන විට එරට සමාජය තුළ විශාල සංවාදයක් ඇති කර තිබෙනවා.

ෆුජිසාවා නගරයේ බොහෝ වැසියන් ඉදිකිරීමට යෝජිත මෙම මුස්ලිම් පල්ලිය සම්බන්ධයෙන් කාංසාවෙන් පසුවන බවයි ඊඊක්‍ ප්‍රවෘත්ති සේවය පවසන්නේ.

ඉදිකිරීමට විරෝධය පළකරමින් ඔවුන් ඉකුත්දා උද්ඝෝෂණයක ද නිරත වුණා.

කෙසේවෙතත් ඇතැම් නගරවාසීන් පවසන්නේ බිය වෙනුවට අනෙකාගේ සංස්කෘතිය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු බවයි.

පවතින උග්‍ර ශ්‍රම හිඟය නිසා ජපානයට විදේශීය ශ්‍රමිකයන්ගේ සහය ලබාගැනීමට සිදුව තිබෙනවා.

ඒ සමග ජපානයේ මුල් සංස්කෘතියට දැන් විවිධ සංස්කෘතීන්ගේ සහ ආගමික ඇදහීම්වලද බලපෑම් ඇති වී තිබෙන බවයි සමාජ විද්‍යඥයින් පවසන්නේ.

ෆුජිසාවා වෙරළබඩ නගරයේ ඉදිකිරීමට යෝජිත පළමු මුස්ලිම් පල්ලිය ද මෙම සංස්කෘතික සහ ආගමික පරිණාමයේ ප්‍රතිඵලයක් වනවා.

වසර 39ක් පුරා ජපානයේ ඔසාකා නුවර ජීවත් වන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් මොහිදීන් සඳහන් කරන්නේ, මෑත කාලයේදී සමාජ මාධ්‍ය හරහා සහ සෘජුවද මුස්ලිම් ප්‍රජාවට එල්ල වන විවේචන වැඩි වී ඇති බවයි.

ජපන් ජාතිකයන් මුස්ලිම් දහම පිළිබඳව නිසි ලෙස නොදැනුවත්කම මෙයට හේතුවක් විය හැකි බවත්, දෙපාර්ශවය අතර පවතින පරතරය නැති කිරීමට වැඩි වශයෙන් සුහද සංවාද පැවැත්වීම අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙනවා.

එසේ තිබියදී සයිටමා ප්‍රාන්තයේ යාශියෝ මුස්ලිම් පල්ලිය නියෝජනය කරන ෂකීල් මොහොමඩ් පවසන්නේ, ජපානයේ පවතින නීතිරීති සහ සිරිත් විරිත්වලට ගරු කරමින් ජීවත් වීම විදේශිකයන්ගේ වගකීමක් බවයි.

වාර්තාවලට අනුව 2024 අග වන විට ජපානයේ වෙසෙන මුස්ලිම් ජනගහනය 420,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම සමස්ත විදේශීය පදිංචිකරුවන් සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා ඇති අතර, ජපානයේ දේශීය ජනගහනය ක්‍රමයෙන් අඩුවෙමිනුයි තිබෙන්නේ.

ඉකුත් වසරේදී පමණක් ජපානයේ දේශීය ජනගහනය මිලියනයකින් පමණ අඩු වී තිබෙනවා.

ඒ අනුව ජාතික අනන්‍යතාවය රැකගනිමින් විදේශීය ශ්‍රමිකයන් ලබාගැනීමේ අභියෝගයට ජපානය දැන් මුහුණ දෙමින් සිටින බවයි සමාජ විද්‍යඥයින් පෙන්වා දෙන්නේ.

මෙම තත්වයන් සැලකිල්ලට ගෙන වීසා ගාස්තු ඉහළ දැමීමට සහ ආගමන විගමන නීති තද කිරීමට ජපන් රජය පියවර ගෙන තිබෙනවා.