ජෝර්දානයේ කැරැක් (Karak) ප්‍රාන්තයේ හමූද් (Hamoud) ගම්මානයේ පිහිටි ග්‍රීක ඕතඩොක්ස් දේවස්ථානයක පැවැති අවමංගල්‍ය උත්සවයකට එල්ල වූ  ප්‍රහාරයකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස්  මාධ්‍ය වාර්තා කළේ.

ජෝර්දාන මහජන ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ උබයිදුල්ලා අල්-මායිතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් 27 දෙනෙකු මේ වන විටත් රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙන බවයි.

අවමංගල්‍ය පෙරහැර ආරම්භ වනවාත් සමගම විශාල පිපිරුම් හඬක් ඇසුණු බවත්, පසුව මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් දේවස්ථානයට කඩාවැදී මිනිත්තු කිහිපයක් පුරා වෙඩි තැබූ බවත් සිද්ධියෙන් බේරුණු පිරිස් සඳහන් කර තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස වෙඩි තබා ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකු අත ගිනිඅවියක්ද, අනෙක් පුද්ගලයා අත රයිෆලයක්ද තිබූ බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවන් සොයා මේ වන විටත් විශේෂ සෙවුම් මෙහෙයුමක් ක්‍රියාත්මක බව ජෝර්දාන ආරක්ෂක අංශ පවසනවා.

කෙසේවෙතත්, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ .