සති අන්තයේ ප්‍රංශය පුරා හටගත් ප්‍රචණ්ඩකාරී විරෝධතා, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම් හමුවේ අගනුවර වන පැරිස් ඇතුළු ප්‍රධාන නගර රැසකට රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට ප්‍රංශ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පැරිස් නුවර ‘ප්ලේස් ඩෙ ලා රෙපුබ්ලික්‘ ප්‍රදේශයට සහ ‘ලෙ හෝල්ස්‘ වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශවලට රාත්‍රී 11.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අවසර නොලත් සියලු රැස්වීම් තහනම් කිරීමට ද ප්‍රංශ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව මාර්සේයි, බෝඩෝ, නීස්, ලියොන් සහ ලිල් යන නගරවල ද තරුණයින්ගේ ගමනාගමනය සහ ජනතාව රැස්වීම සීමා කරමින් ඇඳිරි නීති පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්ධන මිල ඉහළයාම, ජීවන වියදම සහ පාසල් ඇතුළු මහජන සේවාවන් කඩා වැටීමට එරෙහිව ආරම්භ වූ මෙම විරෝධතාවලට පන් ලක්‍ෂ 50,000කට වැඩි පිරිසක් එක්ව සිටිනවා.

මේ වන විට පුද්ගලයින් 2,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රංශ ආරක්‍ෂක අංශ පවසන්නේ.

ගැටුම්වලදී පොලිස් නිලධාරීන් 1,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, පොලිස් ප්‍රහාර හමුවේ එක් විරෝධතාකරුවෙකුගේ අතකට ද දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ලිමෝජස් නගරයේ පිහිටි 19 වැනි සියවසට අයත් ඓතිහාසික නගර ශාලා ගොඩනැගිල්ලට ද විරෝධතාකරුවන් ගිනි තබා ඇති අතර, ඉන් එහි ඔරලෝසු කවුළුව සහ වහලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ පැරිස් නුවර පිහිටි ඇමෙරිකානු, චීන සහ ජර්මානු තානාපති කාර්යාල සිය රට වැසියන්ට ප්‍රංශයේ සංචාරය කිරීමේදී ප්‍රවේශම් වන ලෙස අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකොර්නු ප්‍රකාශ කළේ රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ හැකියාව ද බැහැර කළ නොහැකි බවයි.

විරෝධතා හේතුවෙන් සිදුවූ අලාභහානි අයකර ගැනීමට නව නීති පනවන බවත්, බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන අරමුදලක් පිහිටුවන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.