නොරෙච්චෝලේ තාප බලාගාරය අක්‍රිය වීමත් සමග මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් අද දිනයේද පස්වරු 4යි 30සිට රාත්‍රී 8යි 30 දක්වා කාලයේදී දිවයින පුරා කලාප 4ක් යටතේ පැයක කාලයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක වනවා.

ජාතික පද්ධතිය ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පැවසුවේ ලබන බ්‍රහස්පතින්දා වන විට නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින් එදින සිට විදුලි කප්පාදුව සිදු නොවන බවයි.

"ඇත්තටම අපි මෙගාවොට් 300ක විතර අඩුපාඩුවක් දකිනවා. ජනන පද්ධතියේ අඩුපාඩුවක් දකිනවා. එතකොට ඒ මෙගාවොට් 300කට ආසන්න ප්‍රමාණයකට ලංකාව කොටස් හතරකට වෙන් කරලා, එක කාණ්ඩයකට පැයක විදුලි කප්පාදුවක්... ඒ කියන්නේ අපි ඉල්ලුම කළමනාකරණය කරන එක කරනවා පැයක ප්‍රමාණයක්. ඒක හවස හතරහමාරේ ඉඳලා රෑ අටහමාර වෙනකන් 19, 20, 21 කියන දවස් තුනේ. YGL ආයතනය අපි බලාපොරොත්තු වෙනවා 22 වෙනිදා වෙනකොට කොහොමහරි එක ජනක යන්ත්‍රයක් අපිට පද්ධතියට ලබා දෙයි කියලා. එහෙම වුණොත්, හරි ඊට කලින් අපිට ලබා දුන්නොත්, අපි පුළුවන් තරම් ඉක්මනට කරනවා. අනිත් එක මේකේ කොයි වෙලාවකවත් හිතන්න එපා අපි හතරහමාරටම මේක කරනවා අටහමාර වෙනකම්ම තියාගන්නවා කියලා. මොකද මං කිව්වා පද්ධතියට අපිට 2500කට ආසන්න ප්‍රමාණයක අපිට ජනනය කරන්න ධාරිතාවත් තියෙනවා. එතකොට එම අවස්ථාව එනකන් අපි අනවශ්‍ය ලෙස විදුලි ඉල්ලුම කළමනාකරණය කරන එක කරන්න පටන් ගන්නේ නෑ."