පාකිස්තානයේ වයඹදිග කලාපයේ මාර්ගස්ථ පොලිස් පරීක්ෂණ සෞඛ්‍ය මුරපොලක් ඉලක්ක කරගනිමින් සෙනසුරාදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 35 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව නිලධාරීහු පවසති.
මෙම ප්‍රහාරයෙන් පසුව තුවාලකරුවන් රෝහල් ගත කරමින් සිටි ගිලන් රථයකටද සන්නද්ධ තුවක්කුකරුවන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඛයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයේ ඩේරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේදී පුපුරන ද්‍රව්‍ය පිරවූ රථයකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පළාත් හදිසි සහන සේවයේ ප්‍රකාශක බිලාල් ෆයිසි පැවසීය.
ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා සඳහන් කළේ මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩිදෙනා ආරක්ෂක අංශ සාමාජිකයින් සහ මඟීන් බවයි. මෙම ප්‍රබල පිපිරීමෙන් මුරපොල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ප්‍රහාරයෙන් පසුවද වෙඩි හඬවල් ඇසුණු බව ප්‍රදේශවාසීහු පවසති.
තුවාලකරුවන් ආසන්න රෝහලක් වෙත ගෙන යමින් තිබූ ගිලන් රථයකට තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් හදිසි සහන සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය. බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ එක් දරුවෙකුද සිටිති.
ටෙහ්රීක්-ඊ-තලේබාන් පාකිස්තාන් හෙවත් පාකිස්තාන තලේබාන් සංවිධානය විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.
මෑත වසරවලදී පාකිස්තානය තුළ ත්‍රස්තවාදී ප්‍රහාරවල ප්‍රබල වර්ධනයක් දක්නට ලැබෙන අතර, ඉන් වැඩි ප්‍රමාණයක වගකීම TTP සංවිධානය සහ බලෝචිස්තාන් ප්‍රදේශයේ සක්‍රීය බෙදුම්වාදී කල්ලියක් වන බැලෝච් විමුක්ති හමුදාව (BLA) විසින් භාරගෙන තිබේ.
TTP සංවිධානය, 2021 වසරේදී ඇෆ්ගනිස්තානයේ බලයට පත් තලේබාන් පාලනය සමඟ සමීප සබඳතා පවත්වන නමුත් එය වෙනම ක්‍රියාත්මක වන සංවිධානයකි.




