මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවදුරටත් තීව්‍ර කරමින් සෞදි අරාබිය, යේමනය, ඉරානය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර මාලාවක් එල්ලවී තිබෙනවා.

යේමනයේ හවුති කැරලිකරුවන්ට එරෙහිව සටන් වදින සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව නිවේදනය කර ඇත්තේ, යේමනයේ සාඩා පළාතේ පිහිටි බැලස්ටික් මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථානයක් තම හමුදා විසින් විනාශ කළ බවයි.

එමෙන්ම සෞදි අරාබියේ දකුණු දිග ප්‍රදේශය ඉලක්ක කරමින් එල්ල වූ බැලස්ටික් මිසයිලයක් ගුවනේදී විනාශ කිරීමටද සෞදි ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

මේ අතර රියාද් නුවර ප්‍රධාන ගුවන් තොටුපොළ, මූල්‍ය මධ්‍යස්ථානය මෙන්ම දකුණු දිග ජිසාන් සහ කමිස් මුෂයිට් යන ප්‍රදේශ ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවට හවුති කැරලිකරුවන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ඕමාන වෙරළට ඔබ්බෙන් වූ හෝමූස් සමුද්‍ර සන්ධියේදී තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.

හෝමූස් සමුද්‍ර සන්ධියට නැගෙනහිර දෙසින් නාවික බෝම්බවල ගැටීම හේතුවෙන් තෙල් ප්‍රවාහන නෞකා තුනක් ගිනිගෙන ඇති බවයි ඉරාන හමුදාව පවසන්නේ.

මේ අතර, ඉරානයේ දකුණු වෙරළ තීරයට අමෙරිකාව විසින් එල්ල කළ ප්‍රහාර ඉරාන විදේශ අමාත්‍යාංශය විසින් දැඩි ලෙස හෙළා දැක ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකක යුදමය ඉලක්ක වෙත ඉරාන හමුදා ප්‍රහාර එල්ල කළ බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.