Published
කඩුවෙල මංසන්ධියේ පිහිටි විදුලි උපකරණ අළෙවි සැලක හටගත් ගින්නට හේතුව සොයා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
දෙමහල් ගොඩනැගිල්ලක් වන එම අළෙවි සැලේ ගින්නක් හටගෙන ඇති බවට උදෑසන 6.20 ට පමණ ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය වෙත ඇමතුමක් ලැබු තිබුණා.
ඒ අනුව ගිනි නිවීම් රථ 3 ක් සහ ගිනි නිවීම් භටයින් 13 දෙනෙකු වහාම එම ස්ථානයට පිටත්කර හැරි බවද ගිනි නිවීම් ඒකකය පැවසුවා. ගින්න හටගත් අවස්ථාවේ එම විදුලි උපකරණ අළෙවි සැලේ උඩ මහලේ එකම පවුලේ සිව් දෙනෙකු රැදී සිට ඇති අතර ඔවුන් ගින්නට හසුව ජීවිතක්ෂයට පත් වුණා.
ඒ අතර ළමුන් දෙදෙනෙකුද සිටින බවයි පොලීසිය පැවසුවේ.
එම ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බව ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය වැඩිදුරටත් පැවසුවා.










