ආර්ජන්ටිනාවේ මෙසී, ප්‍රංශයේ කයිලියන් එම්බාපේ, නෝර්වේ රාජ්‍යයේ අර්ලින් හාර්ලන්ඩ්ගේ සුපිරි දස්කම්වලින් පසු මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පාපන්දු ලෝලීන්ගේ වැඩිම අවධානය දිනාගත් ක්‍රීඩකයා වුණේ පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ.
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ පළමු ක්‍රීඩකයා වෙමින් ඉතිහාසගත වීමේ අවස්ථාව මේ වන විට 41වන වියේ පසුවන රොනාල්ඩෝට ඊයේ අහිමි වුණා.
තරඟය පැවැත්වුණේ පෘතුගාලය සහ ඩිමොක්රටික් රිපබ්ලික් ඔෆ් කොංගෝ කණ්ඩායම අතරයි.
එහෙත් මේ තරගයේදී බලාපොරොත්තු වූ පරිදි ඉහළ දක්ෂතා දැක්වීමට පෘතුගාලය හෝ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වුණේ නැහැ. තරගය අවසන් වුණේ ගෝල 1ට 1ක් ලෙස ලකුණු සම තත්ත්වයෙන්.
තරගයේදී පෘතුගාලය නමින් සටහන් වූ එකම ගෝලය ලබාගත්තේ තරගයේ 6 වන මිනිත්තුවේදී ජොආඕ නෙවෙස් විසින්.
පසුව පළමු අර්ධය අවසන් වීමට ඉතාම කෙටි වේලාවක් තිබියදී යොවාන් විසා කොංගෝ කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් ලබා ගත්තා.
මුළු තරග කාලයෙන් 75%ක කාලයක් පෘතුගාලය පන්දුව ඔවුන් සන්තකයේ තබා ගන්න සමත් වුණා. එහෙත් ප්‍රහාර ගෝල බවට පෙරළා ගන්න ඔවුන්ට පුළුවන් වුණේ නැහැ.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරගය පුරා පන්දුව ස්පර්ශ කිරීමට ලැබුණේ අවස්ථා 25කදී පමණයි.
එහිදි ද ඔහුට ලැබුණු පහසු අවස්ථා දෙකක්ද ගිලිහී ගියා.
මේ සමඟින් ඔහු ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලිවල පිට පිට තරග 10කදී ගෝලයක් ලබා ගැනීමට අපොහොසත් වී තිබෙනවා.
මෙම තරගයෙන් පසු ක්‍රීඩා විචාරකයන් පෘතුගාල පුහුණුකරු රොබර්ටෝ මාර්ටිනස්ව දැඩි ලෙස විවේචනය කළා.
බී.බී.සී. විචාරක ක්‍රිස් සට්න් ප්‍රකාශ කළේ රොනාල්ඩෝ අසාර්ථක වෙද්දීත් ඔහුව පිටියෙන් ඉවත් කිරීමට පුහුණුකරු බිය වූ බවයි.
රොනාල්ඩෝ වැනි සුපිරි තරුවක් පිටියේ සිටීම නිසා අනෙක් තරුණ ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කිරීමට සහ තීරණ ගැනීමට යම් බාධාවක් සහ පීඩනයක් එල්ල වන බව හිටපු ප්‍රංශ ක්‍රීඩක තියරි හෙන්රි සහ ගේල් ක්ලිචි පෙන්වා දුන්නා.
කෙසේ වෙතත්, ඔහුගේ හිටපු සගයෙකු වන වේන් රූනි පවසන්නේ, සෙසු ක්‍රීඩකයන් දස්කම් දැක්වීම නිසා රොනාල්ඩෝ ඉදිරි තරගවලදී තවත් ජේෂ්ඨත්වයෙන් සහ ජවයෙන් පෙරළිකාර ඉනිමක් ක්‍රීඩා කරනු ඇති බවයි.
මේ අතර 2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමඟ පැවති තරගය ගෝල 4ට 2ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.




