සෞදි අරාබියේ රියාද් නුවර කින්ග් කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැය 24 ක් ඇතුළත  දෙවන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදි එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම  ගුවන් තොටුපළේ අංක 4 මගී පරියන්තය (Passenger Hall No 4) වෙත පතිත වූ ප්‍රහාරයක් හේතුවෙන් ගිනිගැනීමක් ද හටගෙන තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ   පාකිස්ථාන ජාතික නේවාසිකයෙකු බවයි සෞදි සිවිල් ගුවන්සේවා අධිකාරිය තහවුරු කළේ.

මීට පෙර දින එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 308 දෙනෙකු තුවාල ලබා තිබුණා.

යේමනයේ හුති සන්නද්ධ කණ්ඩායම මෙම ප්‍රහාරයන්හි වගකීම භාරගෙන ඇති අතර, සෞදි අරාබියේ ගුවන් තොටුපළවල් හෝ ගුවන් සීමාවන් භාවිතා නොකරන ලෙසට සියලු විදේශීය ගුවන් සමාගම් සහ මගීන් වෙත අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබෙනවා.

සෞදි අරාබියේ ප්‍රධාන ස්ථාන රැසක් ඉලක්ක කරගනිමින් ඉදිරියටත් ප්‍රහාර එල්ල කරන බවට හුති සන්නද්ධ සංවිධානයේ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් යහියා සරී (Yahya Saree) තර්ජනය කර ඇති අතර, මක්කම සහ මදීනා පූජනීය නගර හැර සෞදියේ  සියලු ගුවන් තොටුපළවල් සිය ඉලක්කයන් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර හුති සංවිධානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ද අවධානය යොමුකර ඇති බව විදේස්මාධ්‍ය වාර්තා කරනවා.