රුසියාවේ නවතම ප්‍රහාරවලින් යුක්රේනයේ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී තිබෙනවා.

එලෙස කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින්නන් සෙවීම සඳහා වන මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙමින් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

යුක්රේනයේ දකුණු දිග සපෝරිෂියා නගරයේ නේවාසික ගොඩනැගිලි කිහිපයකට මෙලෙස ප්‍රහාර එළ කර තිබෙනවා.

මෙම ප්‍රහාරවලින් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

ප්‍රහාරයෙන් මහල් නිවාස සංකීර්ණයක කොටසක් මුළුමනින්ම බිමට සමතලා වී තිබෙනවා.

විශේෂත්වයක් වන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ඩීසල් මත පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට තීරණය කිරීමෙන් පසු එදිනම මෙම දරුණු ප්‍රහාරය එල්ල වීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්රේන ජනාධිපති වොලොද්මීර් සෙලේන්ස්කි ප්‍රකාශ කළේ, ඩීසල් අපනයන සම්බාධක ඉවත් කිරීම වෙනුවෙන් රුසියාව ස්තූති කර ඇත්තේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් මෙලෙස බෝම්බ හෙළීමෙන් බවයි.

ඉරානය සමඟ පවතින ගැටුම් හමුවේ අමෙරිකාව තුළ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල පාලනය කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් රුසියාව වෙත පනවා තිබූ සම්බාධක මෙලෙස ලිහිල් කිරීමට පියවර ගෙන තිබුණා.

එහෙත් එම තීරණය අමෙරිකානු සෙනෙට් සභිකයින්ගේ මෙන්ම ජාත්‍යන්තරයේ ද දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර, මීට පෙර දෙපාර්ශවය අතර බලශක්ති යටිතල පහසුකම් වෙත එල්ල වන ප්‍රහාර වහාම නතර කරන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් පසුව ද රුසියාව විසින් කීව් අගනුවර සහ කාර්කිව් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව යුක්රේනය කියා සිටියා.

ඒ අනුව රුසියාව මේ කරමින් සිටින්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීන්දු සහ ප්‍රකාශ හාස්‍යයට ලක් කිරීමක් බවයි ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙන්නේ.