මියන්මාරය විසින් රොහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කළ බවට ගැම්බියාව විසින් ගොනු කර ඇති වසර හතක් පැරණි නඩුවේ තීන්දුව ජාත්‍යන්තර අධිකරණය (ICJ) විසින් අද (19) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

1948 වසරේදී ජන සංහාර වැළැක්වීමේ සම්මුතිය අත්සන් කිරීමෙන් පසු රුවන්ඩාව සහ හිටපු යුගෝස්ලාවියාව වැනි රටවල පුද්ගලයින්ට එරෙහිව ජන සංහාර චෝදනා ඔප්පු වී තිබුණද, ජාත්‍යන්තර අධිකරණයක් විසින් සමස්ත රාජ්‍යයක් ජන සංහාරයකට වරදකරු කළ පළමු අවස්ථාව බවට මෙය පත්වීමේ හැකියාව පවතිනවා.

මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය මෙහෙයවන නීතිඥ අර්සලාන් සුලෙයිමාන් පවසන්නේ ගැම්බියාව මෙම නඩුව ජයග්‍රහණය කළහොත් එය රාජ්‍යයන් විසින් සිදු කරන අපරාධ සඳහා ජාත්‍යන්තර නීතිමය වගවීම තහවුරු කරන ඓතිහාසික තීන්දුවක් වනු ඇති බවයි.

2017 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ රොහින්ග්‍යා ගම්මාන ගිනිබත් කරමින්, ඝාතන, වධහිංසා සහ සමූහ දූෂණ සිදු කරමින් එම ජනතාව පලවා හැරීමට මියන්මාර හමුදාව කටයුතු කළ බව එක්සත් ජාතීන්ගේ කරුණු සෙවීමේ දූත මණ්ඩල මගින් තහවුරු කර තිබුණා.

එහෙත් මියන්මාර බලධාරීන් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමන් රොහින්ග්‍යා සටන්කාමීන්ගේ ත්‍රස්ත ක්‍රියාවලට එරෙහිව හමුදාමය "පිරිසිදු කිරීමේ මෙහෙයුම්" (Clearance operations) පමණක් සිදු කළ බවයි.

2019 නොවැම්බර් මාසයේදී ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සහාය ඇතිව ගැම්බියාව විසින් මියන්මාර රාජ්‍යයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ මෙම නඩුව ගොනු කරනු ලැබුවා.

මෙම නඩුවේ මුල් අවධියේදී මියන්මාරය වෙනුවෙන් පෙනී සිටීමට නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචී හේග් නුවර අධිකරණයට පැමිණීම ලොව පුරා දැඩි විවේචනයට ලක් වුණා.

කෙසේ වෙතත් 2021 හමුදා කුමන්ත්‍රණයෙන් ඇය බලයෙන් පහ කිරීමෙන් පසු, වර්තමානයේ මියන්මාරය පාලනය කරන ජෙනරාල් මින් අවුන් හ්ලේන්ගේ හමුදා පාලනය විසින් පත් කළ නව නීතිඥ කණ්ඩායමක් නඩුවට පෙනී සිටිනවා.

මියන්මාර පාර්ශ්වය තර්ක කරන්නේ එහිදී යුද අපරාධ සිදුව තිබිය හැකි වුවද, සමස්ත ජනවර්ගයක් විනාශ කිරීමේ "ජන සංහාරක චේතනාවක්" (Genocidal intent) පැවති බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

මෙම නඩුවෙන් මියන්මාරය වරදකරු වුවද ජාත්‍යන්තර අධිකරණ තීන්දුවකට එරෙහිව අභියාචනා කිරීමේ අයිතියක් හෝ ඒ හරහා සෘජු දඬුවම් පැමිණවීමේ බලයක් නොමැති බව විචාරකයින් පෙන්වා දෙනවා.

එහෙත්, බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල කොටු වී සිටින මිලියනයකට අධික රොහින්ග්‍යා සරණාගතයින්ට සහ ලොව පුරා විසිරී සිටින රොහින්ග්‍යා ජනතාවට මෙම තීන්දුව තමන් විඳි පීඩාවන්ට ලැබෙන නිල පිළිගැනීමක් වනු ඇති.

කෙසේ වෙතත්, රඛයින් ප්‍රාන්තයේ බහුතර බලය මේ වන විට අරකන් හමුදාව (Arakan Army) සතුව පැවතීමත්, ස්වදේශික රඛයින් ජනතාවගේ විරෝධයත් හේතුවෙන් නඩු තීන්දුව කුමක් වුවද රොහින්ග්‍යා ජනතාවට යළි සිය ගම්බිම් බලා ආරක්ෂිතව පැමිණීම දැඩි අභියෝගයක්ව පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.