ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඉකුත් දා දිවුරුම් දුන් ටී.වී.කේ. නායක සී. ජෝසෆ් විජෙයි නොහොත් තලපති විජෙයි මියගිය එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගුණසැමරුමක් වෙනුවෙන් විශේෂ සටහනක් තබා තිබෙනවා.

ඒ බව වාර්තා කරමින් NDTV ප්‍රවෘත්ති සේවය පවසන්නේ ප්‍රභාකරන්ගේ මරණය සිහිපත් කරමින්, විජෙයි සිය 'එක්ස්' (X) ගිණුමේ මෙම සටහන තබා ඇති බවයි.

මුල්ලිවයික්කාල් ඛේදවාචකයේ මතකයන් තමන් සැමදා හදවතේ තබාගන්නා බවත් මුහුදෙන් එතෙර ජීවත්වන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් සැමවිටම පෙනී සිටින බවත් එහිදී ඔහු ප්‍රකාශ කර ඇතැයි NDTV වාර්තාවෙහි වැඩිදුරටත් සදහන් වනවා.

මැයි 18 හෝ 19 ශ්‍රී ලංකාවේ බොහෝ පිරිස් යුධ ජයග්‍රහණය හෝ මියගිය රණවිරුවන් සිහිපත් කළත් තවත් පිරිසක් මෙදින සලකන්නේ ජනසංහාරයක අදුරු මතක ලෙසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන ජාතික රණවිරු සැමරුම සහ තවත් රණවිරු සැමරුම්ලට පරස්පරව මියගිය දෙමළ වැසියන් සිහිපත් කිරීමේ වැඩසටහන් සහ ඇතැම් විට ප්‍රහාකරන් සිහිකරන වැඩසටහන් ද ශ්‍රී ලංකාවේත් ඇතැම් විදේශ රටවලත් සංවිධාන කර තිබුණා.

ඉන්දියාවේ ඇතැම් පිරිස් මෙම වැඩසටහන් නම්කරනු ලැබ තිබුණේ 'මුල්ලිවයික්කාල් අනුස්මරණ දිනය' ලෙසයි.

ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයා වන්නේ ද වේලුපිල්ලේ ප්‍රභාකරන්.

ඒ හේතුවෙන් එල්.ටී.ටී.ඊ. ය ඉන්දියාව තුළ තහනම් ද කර තිබෙනවා.

ප්‍රහාකරන් සිහිපත් කරමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා එක්ස් සටහනක් තබා ඇත්තේ එවැනි පසුබිමකයි.

මේ අතර ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී ද සී. ජෝසෆ් විජෙයි නොහොත් තලපති විජෙයි ප්‍රභාකරන් වක්‍රාකාරව සිහිපත් කරමින් ආන්දොලනාත්මක ප්‍රකාශයක් කළා.

ඒ ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් හඬ නැගීම තමන්ගේ යුතුකමක් බවද කියා සිටිමින්.