සෞදි අරාබියේ රියාද් අගනුවර කින්ග් කාලිඩ් ගුවන් තොටුපළට එල්ල වූ නවතම ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 309 දෙනෙකු මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි සෞදි බලධාරීන් පැවසුවේ.
සෞදි අරාබියේ රියාද් අගනුවර කින්ග් කාලිඩ් ගුවන් තොටුපළ වෙත මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ යේමනයේ හූති කැරැලිකරුවන් විසින්.
ඔවුන් මීට දින කිහිපයකට පෙර ද මෙවැනිම ප්‍රහාර මාලාවක් කින්ග් කාලිඩ් ගුවන් තොටුපළ වෙත එල්ලකලා.
මියගිය අය අතර සෞදි ජාතිකයින් 4 දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් 2 දෙනෙකු, ඇමරිකානු ජාතිකයෙකු සහ ජෝර්දාන ජාතිකයකුද සිටින බවයි හඳුනාගෙන ඇත්තේ.
මියගිය අනෙක් අය පලස්තීන, සිරියානු, සුඩාන සහ ඊජිප්තු ජාතිකයන් වනවා.
ප්‍රහාරය හේතුවෙන් කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් තවදුරටත් සම්පූර්ණයෙන්ම අත්හිටුවායි තිබෙන්නේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ඒ සමග ඇති සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
සෞදි ප්රමුඛ සන්ධාන හමුදාව පවසන්නේ මෙම ප්‍රහාරය යුද අපරාධයක් බවයි.
ඊට දැඩි ප්‍රතිචාර දක්වන බවද ඔවුන් කියා සිටිනවා.
මේ අතර සෞදි අරාබියේ රියාද් අගනුවර කින්ග් කාලිඩ් ගුවන් තොටුපළ වෙත මෙම ප්‍රහාරය එල්ල වන්නේ සෞදි අරාබියේ සහය ලබන යේමනයේ රජයේ හමුදා සහ හූති කැරැලිකරුවන් අතර යුද ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් තිබියදී යි.
ප්‍රහාර හමුවේ බටහිර තානාපති කාර්යාල තම පුරවැසියන්ට ගුවන් තොටුපළ ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.




