නේපාලයට අයත් හිමාල අඩවියේ පිහිටි ‘හිම්ලුං හිමාල්‘ කඳුවැටිය ආශ්‍රිතව සිදුවූ විශාල හිම කඩාවැටීමකින් පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් 12 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

විදේශීය කඳු නගින්නන් පැමිණීමට පෙර කඳවුර සූදානම් කිරීමට සහ රැහැන් සවි කිරීමට ගිය නේපාල ජාතික මාර්ගපදේශකයින් සහ සහායක පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුර සිදුව ඇත්තේ ඉකුත් ඉරිදා උදෑසනයි.

මියගිය අයගේ පළමු සිරුරු දෙක ඉරිදා සවස සොයාගෙන තිබෙනවා.

අනෙක් සිරුරු දෙක සොයාගෙන ඇත්තේ ඊයේ දිනයේදීයි.

අතුරුදන් වූ සෙසු පිරිස සොයා ගලවාගැනීමේ කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම්වල යෙදී සිටිනවා.

අඩි 14 ක පමණ ඝන හිම තට්ටුවකින් මුළු කඳවුරු භූමියම වැසී ගොස් තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ප්‍රදේශයේ අධික ශීතලක් ද පවතිනවා.

ඒ නිසා ගලවාගැනීමේ මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වී තිබෙන බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවත්වා දැමීමට ද පියවර ගැනුනා.

තත්ත්වය යහපත් වූ වහාම අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිතයි.