සෞදි අරාබියේ ගුවන් තොටුපළවල් සහ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් යේමනයේ හුති සන්නද්ධ සංවිධානය එල්ල කරන දරුණු ප්‍රහාරයන්ට එරෙහිව ඉතා දැඩි හා බරපතල ප්‍රතිචාරයක් ලබාදෙන බවට සෞදි අරාබිය ප්‍රතිඥා දී තිබෙනවා.

රියාද් නුවර පැවැත්වෙන ලෝක පෙට්‍රෝලියම් කොන්ග්‍රසය (WPC Energy Congress) ඇමතූ සෞදි බලශක්ති අමාත්‍ය අබ්දුල් අසීස් බින් සල්මාන් කුමරු (Prince Abdul Aziz bin Salman) සදහන් කළේ, පසුගිය සති කිහිපය තුළ සිදුවූ සිදුවීම් ඉතා බරපතල වන අතර සෞදියේ ප්‍රතිචාරය ද ඊට නොදෙවෙනි ලෙස ප්‍රබල වන බවයි.

පසුගිය ඉරිදා දිනයේ රියාද් නුවර කින්ග් කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අංක 04 මගී පරියන්තයට එල්ල වූ ප්‍රහාරයෙන් පාකිස්ථාන ජාතිකයෙකු මියගිය අතර, ඊට පෙර දින එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මීට අමතරව පසුගිය සතියේ එල්ල වූ ප්‍රහාරයන්ගෙන් සෞදි ගුවන් සේවයේ නියමුවෙකු ඇතුළු තවත් පිරිසක් මියගොස් තිබෙනවා.

ඊයේ (සඳුදා) රාත්‍රියේ ද රියාද් නුවරට එල්ල වූ බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව විනාශ කළ බව සෞදි ප්‍රමුඛ සංග්‍රාමික සන්ධානය ප්‍රකාශ කළා.

කෙසේවෙතත්, ප්‍රහාරයන් මධ්‍යයේ වුවද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත්, සෞදි ජනතාව ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් නිර්භීත පිරිසක් බවත් පවසමින්  බලශක්ති අමාත්‍යවරයා ජාත්‍යන්තර නියෝජිතයින් හමුවේ විශ්වාසය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.