එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පැවැති "2026 OSGA වාර්ෂික දේශනය" (2026 OSGA Annual Lecture) සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වුණා.
එහිදී අග්‍රාමාත්‍යවරිය “සංවර්ධනයේ දේශපාලනය, ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට” (The Politics of Development: Sri Lanka and Beyond) යන තේමාව යටතේ විශේෂ දේශනයක් සිදු කළා.
කාලීන ගෝලීය අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්රමුඛ පෙළේ විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ වෘත්තිකයන් එක් කරන ඔක්ස්ෆර්ඩ් ගෝලීය සහ කලාපීය අධ්‍යයන අංශයේ ප්‍රමුඛතම වාර්ෂික වැඩසටහනක් වන අතර ඔක්ස්ෆර්ඩ් ගෝලීය සහ කලාපීය අධ්‍යයන අංශය' (OSGA) විසින් සංවිධානය කර තිබු මෙම දේශනය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ඇන්තනි විද්‍යාලයේ දී (St Antony’s College) පැවැත් වුණා.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන්, විද්වතුන් සහ පර්යේෂකයන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලය ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාවේ සංවර්ධනය, පාලනය සහ දේශපාලනය අතර පවතින අන්තර් සබඳතාව පිළිබඳව අදහස් දැක්වූවා.
අර්ථවත් සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට උත්සාහ කරන රටවල් මුහුණ දෙන පුළුල් යථාර්ථයන් පිළිබඳවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී විග්රහ කළා.
සංවර්ධනය යනු හුදෙක් ප්‍රතිපත්ති, සංඛ්‍යාලේඛන සහ ආර්ථික මාදිලිවලින් පමණක් මැනිය නොහැකි බවත්, එය මිනිසුන්ගේ එදිනෙදා ජීවන අත්දැකීම් තුළින් වටහා ගත යුතු බවත් පැවසුවා.
විශේෂයෙන්ම ආර්ථික අර්බුද, ආයතනික අභියෝග සහ දිගුකාලීන අසමානතාවන්ගෙන් මිදෙමින් පවතින රටවල පාලන තන්ත්රය මෙහෙයවීමේදී, පරමාදර්ශයන් සහ ප්‍රායෝගික යථාර්ථයන් අතර සමතුලිතතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද ඇය පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන සහභාගීත්වය සහ නියෝජනය පිළිබඳව ද අග්රාමිත්යතුවරිය දීර්ඝ වශයෙන් අදහස් දැක්වූවා.
එහිදී බිම් මට්ටමේ දේශපාලන ව්‍යාපාර සහ නායකත්ව අවකාශයන් සඳහා කාන්තාවන්ගේ දායකත්වය වර්ධනය වෙමින් පවතින බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, කාන්තාවන් සඳහා වැඩි දේශපාලන අවස්ථා නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයන් මෙන්ම, සමාජයේ සහ දේශපාලන ව්‍යුහයන් තුළ මුල් බැසගෙන ඇති අභියෝග පරිවර්තනය කිරීමේදී තවමත් පවතින බාධාවන් පිළිබඳවද කරුණු පැහැදිලි කළා.
ආර්ථික ප්‍රකෘතිය සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳව අදහස් දක්වමින්, කාන්තාවන් විසින් පවුල, ප්‍රජාව සහ ආර්ථිකය වෙනුවෙන් සිදු කරනු ලබන ගෙවීම් ලබන සහ නොලබන සාත්තු සේවා (Care Work) හඳුනා ගැනීමේ වැදගත්කම පැහැදිළි කළා.
සාම්ප්‍රදායික ආර්ථික පද්ධතීන් තුළ මෙම දායකත්වය බොහෝ විට නොපෙනී පවතින බව ප්‍රකාශ කළ ඇය, තිරසාර සංවර්ධනයක් මඟින් ආර්ථික ප්‍රගතිය ළඟා කර ගන්නා අතරම මානව ගරුත්වය, සාධාරණත්වය සහ සමාජ සුභසාධනය ආරක්ෂා කළ යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, රජයන්, ජාත්‍යන්තර සංවර්ධන ආයතන සහ දේශීය ආයතන අතර පවතින සබඳතාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ අතර, සංවර්ධන ප්‍රමුඛතාවන් සැමවිටම දේශීය යථාර්ථයන් මත පදනම් විය යුතු බවත්, ඒවා ජනතාවට වගකීමට බැඳී සිටින වගවීම් සහිත විය යුතු බවත් ප්‍රකාශ කළා.
සමාජ මානව විද්‍යාඥවරියක, ක්‍රියාකාරිනියක, විද්වතෙකු සහ දේශපාලන නායිකාවක ලෙස තම අත්දැකීම් ඇසුරින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, පොදු මහජන ව්‍යාපාර සහ ක්රියාකාරීත්වයන් දිගුකාලීන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ ආයතනික වෙනස්කම් පරිවර්තනය කිරීමේදී ඇති වන අභියෝග පිළිබඳවත්, එවැනි අර්ථවත් පරිවර්තනයක් සඳහා ඉවසීම, සාකච්ඡා මාර්ග සහ අඛණ්ඩ මහජන මැදිහත්වීම අවශ්‍ය වන බවද පැවසුවා.
දේශනයෙන් අනතුරුව විද්වතුන් සමඟ ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්වුණු අතර, එහිදී පාලනය, ආයතනික ස්වාධීනත්වය, දේශපාලන ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රකෘතිය සහ ප්රජාතන්ත්රවාදී වගවීම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සමඟ සමතුලිත කිරීමේ අභියෝග පිළිබඳව සාකච්ඡා කෙරුණා.
ඔක්ස්ෆර්ඩ් ගෝලීය සහ කලාපීය අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ඩියෙගෝ සැන්චෙස්-අන්කෝචියා (Professor Diego Sanchez-Ancochea) මහතා අග්‍රාමාත්‍යවරියගේ මෙම දේශනය අගය කරමින් කියා සිටියේ, මෙය ශාස්ත්‍රීය අවබෝධය සහ ප්‍රායෝගික දේශපාලන අත්දැකීම් යන ද්විත්වයම මැනවින් උපයෝගී කරගනිමින්, දේශපාලනය සහ සංවර්ධනය අතර පවතින සබඳතාව පිළිබඳව කාලෝචිත සහ වැදගත් ආවර්ජනාවක් සිදු කළ දේශනයක් බවයි.




