හෝමාගම පොලිස් භාරයේ සිටියදී මියගිය තරුණයාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා.
ඔහුගේ මෘත දේහය තැන්පත් කර ඇත්තේ කිරිවත්තුඩුව, මූණමලේවත්ත ප්රදේශයේ ඔහු පදිංචිව සිටි නිවසේයී.
අද පස්වරු 3.30ට ඔහුගේ අවසන් කටයුතු මූණමලේවත්ත සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව එම ප්රදේශයට අද දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යෙදවීමට නියමිත බවයි වාර්තා වුණේ.
රාත්රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් ඉකුත් 25වනදා රාත්රී කිරිවත්තුඩුව මූනමලේවත්ත 17වන පටුමගේ පදිංචිව සිටි තරුණයකු අත්අඩංගුවට ගත්තා.
අයිස් මත්ද්රව්ය සමග ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු තරුණයා 29වන වියේ පසුවූ ඉෂාර හර්ෂ නමැත්තෙක්.
සිර මැදිරිය තුළදී ඔහුට පහරදීම් සිදුවූ බවට ඔහුගේ ඥාතීන් චෝදනා කළා.
කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ ඇතිවූ අසනීප තත්වයක් මත ඔහු රෝහල්ගත කෙරුණු බවයි. රෝහල් ගත කිරීමෙන් පසු ප්රතිකාර ලබමින් සිටියදී තරුණයා මියගියා.
එම සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තුන්දෙනෙකුගේ වැඩ තහනම් කෙරුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ දිනයේ හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත්තා.
මේ අතර හෝමාගම පොලිස් සිරමැදිරිය තුළ දී මියගිය බවට වාර්තා වූ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් කරුණු විමසීමට හෝමාගම පොලිසියේ වැඩ තහනමට ලක්ව සිටින නිලධාරීන්ට ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පෙනී සීටින ලෙස දැනුම් දී තිබෙනවා.
අද දිනයේදී මෙලෙස මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පෙනී සිටින ලෙස මෙම කැඳවීම සිදුකර ඇති බව එහි කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළා.




