දිවයිනේ ප්රදේශ කිහිපයක අද දිනයේද පස්වරු එකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ නදීකා රණවීර මහත්මිය පැවසුවේ.
"බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වලත්, ඒ වගේම කුරුණෑගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් පස්වරු 1.00න් විතර පස්සේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. අද දිනයේ විශේෂයෙන්ම තද වැසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණත් ගිගුරුම් සහිත වැසිත් එක්ක ඇතිවෙන්න පුළුවන් තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගන්න අවශ්ය පියවර ගන්න කියලා මතක් කරනවා."
මේ අතර පසුගිය දිනවල ඇදහැළුණු වැසි හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් හටගත් ගංගා කිහිපයක් ආශ්රිත පහත්බිම්වල ජල මට්ටම් අඩුවෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ආපදා කළමණාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එල් එස් සූරිය බණ්ඩාර මහතා පැවසුවා.
"නිල්වලා ගඟේ ජල මට්ටම ක්රමයෙන් අඩුවෙමින් පවතිනවා. කෙසේ නමුත් පහළ ප්රදේශ වන තලගහගොඩ සහ කත්තුව ආසන්නයේ මාතර නගරය ආසන්න ප්රදේශවල තාමත් සුළු ගංවතුර මට්ටමේ පවතිනවා. නමුත් ක්රමයෙන් අඩුවෙමින් පවතිනවා. ඒ වගේම ගිං ගඟ සහ කළු ගඟ තත්ත්වය ගත්තහම ගිං ගඟ ජල මට්ටම සාමාන්ය තත්ත්වයට පත්වෙමින් පවතිනවා. බද්දේගම ප්රදේශයේ ජල මට්ටම කිසියම් ඉහළ අගයක පැවතියත් දැන් ක්රමයෙන් අඩුවෙමින් පවතිනවා. ඒ වගේම කළු ගඟ මිල්ලකන්ද සහ කුඩා ගඟ ආශ්රිතව තාමත් ජල මට්ටම ඉහළ අගයක පවතිනවා. කෙසේ නමුත් එය ක්රමයෙන් අඩුවෙමින් පවතිනවා. අනෙකුත් ගංගාවල ජල මට්ටම් බොහෝ දුරට සාමාන්ය තත්ත්වයට පත්වෙලා තියෙන්නේ."




