අය වැය යෝජනාවලදී ප්‍රකාශයට පත් කෙරුණු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීම අද සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව, ආනයනික හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ රුපියල් 100ක බද්ද රුපියල් 10ක් දක්වා අඩු කර තිබෙනවා.

උම්බලකඩ කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 302ක බද්ද රුපියල් 10ක් දක්වාත් අඩු කිරීමටයි යෝජනා කෙරුණේ.

ඊට අමතරව, කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 50කින් අඩු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ආනයනික සීනි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 10කින් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

2027 වසර සඳහා වන අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙම බදු සංශෝධන අද සිට ක්‍රියාත්මක වන බවයි.

මේ අතර, අභ්‍යාස පොත් සහ මුද්‍රිත පොත් සඳහා පනවා තිබූ වැට් බද්ද ඉවත් කිරීමටයි එහිදී යෝජනා කෙරුණේ.

තෝරාගත් ආනයනික භාණ්ඩ වර්ග 800කට අදාළ සෙස් බදු අනුපාතය සියයට 25කින් අඩු කිරීමට ද යෝජනා කෙරුණා.

සිනමා ටිකට්පත් ආදායම මත වැට් බද්ද ගණනය කිරීමේ පදනම සංශෝධනය කිරීමටත්, සංචාරක ආයතනවල පිරිවැටුම මත අය කරනු ලබන සංචාරක සංවර්ධන බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමටත් යෝජනා කෙරුණා.