ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සදහා වන කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

ඒ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි.

ඉකුත් 7 වනදා දිනැතිවයි කෙටුම්පත මෙලෙස ගැසට් කර ඇත්තේ.

අධිකරණවල විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට මෙමගින් විධි විධාන සලසා තිබෙනවා.

විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සදහා වන කෙටුම්පත මෙලෙස ගැසට් කර ඇත්තේ පාර්ශව රැසකින් ඒ පිළිබද තවදුරටත් විරෝධතා පවතිද්දීයි.

විපක්‍ෂයේ දේශපාලන කණ්ඩායම් ගණනාවක් මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයද කෙටුම්පත සම්බන්ධයෙන් විරෝධතා පළ කරනවා.

ඔවුන්ගේ චෝදනාව වන්නේ අගවිනිසුරුවරයා ඇතුළු විනිශ්චකාරවරුන්ට මානසික අල්ලසක් ලබාදීමත් ඒ නිසා අධිකරණයේ ස්වාධීනත්වය තර්ජනයට ලක්වීමත් මෙමගින් සිදුවන බවයි.

කෙසේවෙතත් චෝදනා ප්‍රතික්‍ෂේප කරන ආණ්ඩුව, අධිකරණවලට ගොඩගසා ඇති නඩු ඉක්මනින් අසා අවසන් කිරීමට ජේ්‍යෂ්ඨ සහ අත්දැකීම් සහිත විනිශ්චකාරුවන්ගේ සේවය තවදුරටත් ලබාගැනීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම සංශෝධනය සිදුකරන බව දිගින් දිගටම කියාසිටිනවා.