වත්මන් ආණ්ඩුව පළවා හැරීමට ජනතාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ වෙනුවෙන් සිහින දකින්නේ හොරුන්, වංචනිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාතර, නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 2019-2022 වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ජනතාවගේ ආණ්ඩුවක් සහ විනයක් සහිත ශක්තිමත් ආර්ථීකයක් මේ වන විට රට තුළ ගොඩනැගී ඇති බැවින් පීඩාවකදී ජනතාවට ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දීමට හැකියාව ලැබී ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.