2025-2026 තක්සේරු වර්ෂය වෙනුවෙන් ආදායම් වාර්තා භාරදීම සඳහා සහන කාලයක් ලබා දී තිබෙනවා. ඒ ලබන දෙසැම්බර් 14 වන දා දක්වායි.

පවතින නීතියට අනුව 2025 - 2026 තක්සේරු වර්ෂයක් වෙනුවෙන් ආදායම් වාර්තා භාරදීම හෙට, එනම් නොවැම්බර් මස 30 වනදාට පෙර කළ යුතු වනවා. එහෙත් මෙම වර්ෂයේදී පළමු වරට බදු වාර්තා භාරදෙන අලුත් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබීම සැලකිල්ලට ගෙනයි ඒ සඳහා සහන කාලයක් ලබාදීමට දේශීය අද යම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන්නේ.

බදු ගෙවන්නන් බොහෝ පිරිසක් මාර්ගගත ක්‍රමයට බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත පද්ධතියට එකවර පිවිසීම නිසා ඒ වෙත දැඩි පීඩනයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව පද්ධතියේ තදබදයක් සහ ප්‍රමාදයන් ද ඇති වී තිබෙන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

ඒ අනුව, දෙසැම්බර් මස 14 වනදා හෝ ඊට පෙර සිය ආදායම් වාර්තා භාරදෙන බදු ගෙවන්නන්ට දඩ මුදල් අය කිරීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු නොකරන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවා.

​මෙම සහන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන හැකි ඉක්මනින් සිය බදු වාර්තා නිසි පරිදි ඉදිරිපත් කරන ලෙසයි ඔවුන් සියලු බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ.