මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික දර්ශකවලින් පෙන්නුම් කෙරෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එම ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ඒ, මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමග ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි.

එහිදී ශ්‍රී ලංකාව මේ වන විට උදා කරගෙන ඇති සුවිශේෂී ආර්ථික ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

විශේෂයෙන් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට, විදේශ ආයෝජන කැඳවා ගැනීමට සහ මූල්‍ය විනය පවත්වා ගැනීමට පසුගිය කාලසීමාව තුළ අනුගමනය කළ ක්‍රියාමාර්ග ද එහිදි පැසසුමට ලක් කර තිබෙනවා.

මෑත කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දැවැන්ත ස්වභාවික ව්‍යසනය වූ දිට්වා ආපදා තත්ත්වයට මෙන්ම මැද පෙරදිග ඇති වූ යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වූ බලපෑමටද ශක්තිමත්ව මුහුණ දීමට එම ආර්ථික ස්ථාවරත්වය ඉවහල් වූ බවයි ජනාධිපතිවරයා එහිදි අවධාරනය කර ඇත්තේ.

එමෙන්ම, මෙම වසරේ දෙවන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය 4.2%ක මට්ටමක පවත්වා ගැනීමට හැකි වී තිබීමද, ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවට වූ වැදගත් සංඥාවක් බව ජනාධිපතිවරයා සඳහන්  කර තිබෙනවා.

පසුගිය වසර දෙක තුළ රජය බදු ආදායම් රැස් කිරීමේදී දැක්වූ කාර්යසාධනයද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.