ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා නියෝග කලේ සැකකරු රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමටයි.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම නඩුකරය ඉකුත් 28 වනදා කැඳවූ අවස්ථාවේදී සැකකාර කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න මහතා විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා.

එම ඇප ඉල්ලීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් එදින විරෝධය පළ කළා.co

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.