කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධානතම සැකකරුවකු වූ ශලින්ත පෙරේරා නොහොත් කොමන්ඩෝ සලින්ත නමැත්තාට ජීව උණ්ඩ 350 ක් ලබා දුන් හිටපු හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල වටලිමකදියි.

සැකකාර හමුදා සෙබලා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 350 ක් මෙලෙස ලබා දී ඇති බවයි විමර්ශන වලදී අනාවරණ වුනේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරන ලද විමර්ශනයකට අදාළව අනාවරණය වූ තොරතුරු අනුව සැකකාර හිටපු සෙබළා අත්අඩංගුවට ගැනුනා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවක තෙවන සැකකරු ලෙස නම්කර සිටින හල්පිට පතල ගේ සජිත් ශානක පෙරේරා නමැති පුද්ගලයෙකු මාර්ගයෙන් මෙම ජීව උණ්ඩ තොගය කමාන්ඩෝ සලින්ත නමැති සැකකරුට
ලබා දී ඇති බවයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවට ගත් හිටපු සෙබලා යාපනය නෙල්ලිඅඩි , හතරවන රෙජිමේන්තුවට අනුයුක්ත සේවය කළ සෙබළෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

42 හැවිරිදි සැකකරු නාවලපිටිය , පුස්සේ මංකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.