සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළුබෝවිල අවිශ්ක නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වු බව කියන ඔහුගේ සමීපතමයෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් කළුබෝවිල, පිරිස් මාවත ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදීයි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 10 ක් හා හෙරොයින් ග්‍රෑම් 504 ක්, ජංගම දුරකතන 02 ක්, විද්‍යුත් තරාදියක් සහ රබර් සීල් 02 ක් වැටලීම සිදුකළ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙක හමාරකට අධික බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මහරගම නගරයේ සිදුකළ වැටලීමකදී කොකේන් සහ කුෂ් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රැදවුම් නියෝග මත රදවා සිටින සැකකරුවෙකුගෙන් අනාවරණ වූ තොරතුරු මත එහි නිලධාරීන් පිරිසකුයි එම වැටලීම සිදුකර ඇත්තේ.

ඒ අනුව එක් සැකකරුවෙකු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 306ක් සොයාගෙන තිබෙනවා.

අනෙක් සැකකරු සන්තකයේ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210ක් තිබූ බවයි පොලිසිය පැවසුවේ.

එම සැකකරුවන් දෙදෙනා රුක්මල්ගම සහ රත්මල්ගම පදිංචිකරුවන් වනවා.

සිද්ධිය සම්බන්ධයෙනන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.