ඇදහැළෙන වැසි හමුවේ කළුගඟේ මිල්ලකන්ද හා රත්නපුර ප්‍රදේශ මෙන්ම අත්තනගලුඔයේ දූනමලේ ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර මට්ටමට ආසන්න මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්‍ෂ, ඉංජිනේරු එල් එස් සූරිය බණ්ඩාර මහතා පැවසුවේ කැළණි ගඟ ඇතුළු ප්‍රධාන ගංගා කිහිපයකද ඇතැම් ස්ථානවල ජල මට්ටම් කිසියම් ඉහළ අගයක පවතින බවයි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා පැවසුවේ.

මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බවයි ඔහු පැවසුවේ.

සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30ත් -40ත් අතර තරමක තද සුළං ඇති විය හැකියි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවන බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.

මේ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

එමෙන්ම මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 - 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.