ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පලාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද දිනයේද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කවිදු ලක්‍ෂාන් මහතා පැවසුවේ.

"ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ අහසේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා."

මේ අතර ඊයේ පෙරවරු 8.30 සිට අද අළුයම 6 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය කිරිදිවැල ප්‍රදේශයෙන් වාර්තා වන බව නෙත් නිවුස් මීට නොබෝ වේලාවකට පෙර කළ විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ අනුව එම ප්‍රදේශයට මිලිමීටර් 147ක වර්ෂාපතනයක් ලැබි තිබෙනවා.

ඊට අමතරව හල්වතුර ප්‍රදේශයෙන් මිලිමීටර් 123.5 ක වර්ෂාපතනයක් සහ කරදන ප්‍රදේශයෙන් මිලිමීටර් 114.5 ක වර්ෂාපතනයක් වාර්තා වූ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර මීගමුව සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

කොළඹ සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකියි.

එමෙන්ම කොළඹ සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.