ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසාන තරගය අද පැවැත්වෙනවා.

කින්ස්ටින්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස මෙය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් තරගය ආරම්භ වන්නේ හෙට අළුයම එකට.

මෙම තරගාවලියේ දෙපිල අතර පැවති පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත්තා.

දෙවන තරඟය වර්ෂාව නිසා අතහැර දැමුණු අතර ඒ අනුව 1ට 0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

අද තරඟයත් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකාවට හිමිවනවා.

මේ අතර ජාත්‍යන්තර එක්දින පිටියේ ලකුණු 3,000 සම්පූර්ණ කිරීමට පැතුම් නිස්සංකට අවශ්‍ය වන්නේ තවත් එක් ලකුණක් පමණයි.

ඔහු අද එම ලකුණ රැස්කර ගතහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේ එක්දින තරඟ රටාවෙන් ලකුණු 3,000 වේගයෙන්ම සම්පූර්ණ කළ ක්‍රීඩකයා ලෙස ඔහු නව වාර්තාවක් පිහිටුවනු ඇති.

පැතුම් නිස්සංක මේ වන විට සහභාගි වී ඇති ජාත්‍යන්තර එක්දින තරඟ ගණන 78ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින තරඟ රටාවෙන් ලකුණු 3,000 වේගයෙන්ම සම්පූර්ණ කල ක්‍රීඩකයා ලෙස දැනට වාර්තාව පිහිටුවා තිබෙන්නේ උපුල් තරංගයි.

ඔහු එම දක්ෂතාව දැක්වූයේ ඔහු සහභාගි වූ 93වන තරගයේදී.