දිවයිනට බලපා ඇති වැසි තත්වය අද දිනය තුළද පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 වැඩි අධික වැසි ඇතිවිය හැකි බවයි.
"දැනට දිවයින ආශ්‍රිතව පවතින මේ වැසි සහිත කාලගුණ තත්ත්වයට හේතු වෙලා තියෙන පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයින ආශ්‍රිතව තවදුරටත් පවතිනවා. මෙම පද්ධතියේ බලපෑම අද දිනයේදීත් දිවයිනේ කාලගුණය කෙරෙහි පවතිනවා. මේ නිසා විශේෂයෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඒ වගේම ඌව පළාත්වල සහ දකුණු පළාතෙත්, ඊට අමතරව මඩකලපුව සහ අම්පාර වගේ දිස්ත්‍රික්කවලත් අහස වලාකුලින් බරව පවතින අතර අද දිනය පුරාවටම වගේ කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තවදුරටත් පවතිනවා. ඒ වගේම ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන්න අද දිනයේදීත් පුළුවන්. පසුගිය පැය කිහිපය ගත්තොත් ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා විශේෂයෙන් ගම්පහ, ඊළඟට කොළඹ, ගාල්ල, රත්නපුර වගේ පළාත්වල, ප්‍රදේශවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපිට වාර්තා වෙනවා. ඉදිරි පැය කිහිපයේත් තවදුරටත් වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තවදුරටත් පවතිනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ පවතින වැසිත් සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානම තියෙනවා. ඒ වගේම කෙටි කාලයක් තුළ එන තද සුළං ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම තද වැසි පවතින නිසා විශේෂයෙන් මේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු පළාත්වල සහ ඌව පළාතෙත් ඊට අමතරව මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාව මේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. විශේෂයෙන් ගංගා නිම්න ආශ්‍රිතව පහත් බිම්වල සහ කඳුපහළ ආශ්‍රිතව ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්න."
මේ අතර අද දිනයේත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් අත්තනගලු ඔය සහ කළු ගඟේ පහළ ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විට අත්තනගලු ඔයේ සහ කළු ගඟේ මිල්ලකන්ද සහ ඇළගාව ස්ථානවල ජල මට්ටම් ඉහළම අගයක පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.




