නවීනතම ජංගම දුරකථන, ස්වර්ණාභරණ සහ ලැප්ටොප් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීවරුන් පිරිසක් විසින්.

එම මගියා ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු‍ තුළ තිබී “ඇපල්”‍ වර්ගයේ නවීනතම ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, “ඇපල්”‍ මැක් වයිෆයි උපකරණ සහ සුදු පැහැති කඩදාසිවල ඔතා තිබූ රන් මාල, වළලු‍, මුදු, කරාබු සහ පෙන්ඩන්ට් තොගයක් ද සොයා ගත් බවයි ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීවරුන් පැවසුවේ.

එම භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.