ලොව පුරා විසිරී සිටින වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සහ ශක්තිය විදහා දක්වන ජාත්‍යන්තර කම්කරු දිනය අදයි.
"අට පැය වැඩ දිනය" දිනා ගැනීම වෙනුවෙන් කම්කරු ජනතාව කළ අරගලය සිහිපත් කරමින් මෙවර ද ලොව පුරා මැයි දින සැමරුම් උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා.
මැයි දිනයේ ඉතිහාසය දිව යන්නේ 1886 වසරේ ඇමරිකාවේ චිකාගෝ නුවර දක්වායි.
එකල කම්කරුවන්ට දිනකට පැය 12 සිට 16 දක්වා අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ සේවය කිරීමට සිදු වුණා.
ඒ අනුව 1886 මැයි 1 වන දින චිකාගෝ නුවර ‘හේ මාර්කට්‘ චතුරශ්‍රයට රැස්වූ දහස් සංඛ්‍යාත කම්කරුවන් ”පැය 8ක වැඩ දිනයක්” ඉල්ලා වැඩ වර්ජනයක් ආරම්භ කළා.
මැයි 4 වන දින මෙම අරගලය මර්දනය කිරීමට පොලිසිය උත්සාහ කළ අතර එහිදී ඇති වූ ගැටුම්වලින් කම්කරු නායකයින් කිහිප දෙනෙකුට සිය ජීවිත පවා පූජා කිරීමට සිදු වුණා.
මෙම ලේ වැකි අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා කම්කරුවන්ට පැය 8ක සේවා කාලයක්, විවේකය සහ අනෙකුත් මූලික අයිතිවාසිකම් දිනා ගැනීමට පදනම වැටුණා.
1889 දී ජාත්‍යන්තර සමාජවාදී සමුළුව විසින් මැයි 1 වන දින ”ජාත්‍යන්තර කම්කරු දිනය” ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මැයි දිනයක් සමරනු ලැබුවේ 1933 වසරේදීයි.
ඒ ඒ.ඊ. ගුණසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු සමිතිය විසින්.
පසුව 1956 වසරේදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක රජය විසින් මැයි මස පළමු වන දින මෙරට රජයේ නිවාඩු දිනයක් බවට පත් කරනු ලැබුවා.
අද දිනයේ කොළඹ මෙන් දිවයිනේ ප්‍රදේශ රැසක මැයි දින සැමරුම් සංවිධාන කර තිබෙනවා.
රතු කොඩි අහසට එසවෙන, සටන් පාඨ වීදි සිසාරා ඇසෙන කම්කරු දිනයේ අතීතය සහ වර්තමානය අළලා නෙත් නිවුස් තැබූ සටහනක් පහතින්




