එළඹෙන අයවැය ලේඛනය මගින් පොලිස් නිලධාරීන් සඳහා විශේෂ අවදානම් දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
මහජන සේවය උදෙසා කැපවන පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
"වැඩිම පොලිස් පිරිසක් සේවයේ ඉඳිද්දී මියයන්න සිද්ධ වුණා පහුගිය කාලයේ රාජකාරී කටයුතුවලට මුහුණ දීලා. මෙවැනි පොලිස් නිලධාරියෙකුට අපි සලකන්න ඇත්තටම සීමාවක් නැහැ. නමුත් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කරලා, එළඹෙන අයවැයේදී ඔහුට අවදානම් දීමනාවක් ගෙවීමට කටයුතු කරලා තියෙනවා. එතකොට මේ ආකාරයේ සැලකිය යුතු සුභසාධනයක් පොලිස් නිලධාරියාගේ පැත්තෙන් කරන්න රජය තීරණය කරලා තියෙන්නේ. ඒ රජය තීරණය කරලා තියෙන්නෙම මෙන්න මේ මහජන සේවය අත්‍යවශ්‍ය නිසා. අපි කවදාවත් අපේ ආණ්ඩුවේ බලය පවත්වාගෙන යන්න මේ පොලීසිය අපි පාවිච්චි කරලා නැහැ. අපි උපදෙස් දීලා තියෙන්නේ කිසිදු නීතිවිරෝධී වැඩකට මේ පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක ගනුදෙනු කරන්න එපා කියලා. කලින් නොතිබුණු එහෙත් දැන් තියෙන හොඳ හැරවුම් ලක්ෂයක්. අපි මේ ලොකු ආදර්ශයක් දීගෙන යන්නේ පොලීසියට."
පොලිස් නිලධාරීන්ට ලබාදෙන විදේශීය පුහුණුවීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අදහස් පළ කළා.
"විදේශ පුහුණුව පොලිස් කොස්තාපල්වරුන්ට පවා යන්න පුළුවන් ක්‍රමවේදයක් අද වෙනකොට හදලා තියෙනවා. නිලධාරීන්ගේ ප්‍රමෝෂන් සම්බන්ධයෙන් ලොකු ගැටළුවක් තිබුණා. අපි 2019 දක්වා තිබුණු 7,000ක ප්‍රමාණයක් අපි ගිය අවුරුද්දේ ජ්‍යෙෂ්ඨතාවය මත උසස්වීම් ලබා දුන්නා. මේ අවුරුද්දේ 3,000කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් දිනයට සමගාමීව දුන්නා. මෑතකදී තිබුණේ නැහැ කුසලතාවය හා තරඟකාරී විභාග. අන්න ඒ කුසලතාවය සම්බන්ධයෙන් මේ වෙනකොට ලංකාවෙම සම්මුඛ පරීක්ෂණ පවත්වනවා. අන්න ඒවයින් අනතුරුව උසස්වීම්වලට යොමු වෙනවා. ඒකෙනුත් බැරිවෙන කට්ටිය, දක්ෂම කට්ටිය සඳහා තරඟ විභාග ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකෙනුත් අපි ඉහළට ගන්නවා. ලබන අවුරුද්දේ ඉඳන් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වාර්ෂික ලබාගත යුතු උසස්වීම් ලැබෙන ක්‍රමවේදයකට අපි සකස් කරගෙන යනවා. නාගරික සංවර්ධන අධිකාරිය ඉතිහාසයේ ප්‍රථම වතාවට ගෙවල් 350ක් පොලීසියට මිලදී ගන්න පුළුවන් වෙනවා. කොළඹ නිලධාරීන්ට මිලදී ගන්නවා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකට අනුව අපි ඒ නිලධාරීන්ට ඒ පහසුකම් ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරනවා."




