රටේ ජනතාව කලබල වී ඇති බැවින් සිරගත කොට සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කළ යුතු බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නාහිමියන් පවසනවා.
බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් හා මාධ්ය ප්රකාශක සේනක පල්ලේතැන්න මහතා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අස්ගිරි මහා විහාරයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ නාහිමියන් මෙම අදහස් පළ කළ බවයි මහනුවර නෙත් නිවුස් නියෝජිත කමල් සුරවීර පැවසුවේ.
මෙහිදී නාහිමියෝ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විමසා සිටියේ ඥානසාර හිමියන් හට නිදහස ලබාදීමට ක්රමවේදයක් ඇත්ද යන්නයි.
බන්ධනාගාර කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි.
ජනතාව තවත් කලබල වීමට ප්රථම ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතු බවද අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත පවසා තිබෙනවා.
ඉන් අනතුරුව බන්ධනාගාර කොමසාරිස්වරයා ප්රමුඛ නිලධාරීන් මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දුටු අතර මෙහිදී මල්වතු මහා නාහිමියෝ සඳහන් කළේ යම් චෝදනා මත භික්ෂූන් වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත හෝ සිරගත කරන්නේ නම් ඒ සඳහා වෙනම ස්ථානයක් ස්ථාපිත කළ යුතු බවයි.


