ඩෙංගු රෝගය වැළඳී ඇති බව තහවුරු වුවහොත් පාරම්පරික ඖෂධ වර්ග භාවිත කරමින් කාලය ගත නොකර හැකි ඉක්මනින් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නැයි ජාතික ඩෙංගු මර්දන එකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එම ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කපිල කන්නංගර මහතා ඒ බව කියා සිටියා.

ඒ, ඩෙංගු රෝගය ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් සමග පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 75,478 දෙනෙකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ජූලි මස පළමු දින 18 තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 19,043ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම පිරිස 39,667ක්. දකුණු පළාතෙන් රෝගීන් 11,610ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 6,325ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 6,305 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවා.

ජූලි මාසයේ එම කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,762ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,000ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,280ක් හඳුනාගෙන තිබෙනවා.

මේ දක්වා සිදුවූ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 53 ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පැවසුවේ.